ආර්ථිකය යළි නගා සිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නව ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර, වහා ම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් කොවිඩ්-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව මත ඉදිරි කාලයේ දී දැඩි බලපෑමක් ඇති කළ හැකි ය. මෙම වාතාවරණය තුළ, ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්‍රයත්නයන්ට සහාය දීමක් වශයෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතෙහි 83 වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය විසින් 2020 ජූනි 16 දින පැවැති රැස්වීමේ දී තීරණය කරන ලදී.

ඒ අනුව, 2020 මාර්තු මස 27 වැනි දින හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතර ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1.00ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙනු ඇති අතර, එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා ‌බෙදී යෑම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4.00ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇත. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙනු ඇත. 

මීට අමතර ව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමාන ව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත  සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක්  හඳුන්වා දෙනු ඇත.

මෙම නව ණය යෝජනා ක්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරනු ඇත.

 

Published Date: 

Tuesday, June 16, 2020