ඒ. ඒ. එම්. තාසිම් මහතා

නියෝජ්‍ය අධිපති

 ඒ. ඒ. එම්. තාසිම් මහතා බැංකු ආයතන සුපරීක්ෂණය සහ අධීක්ෂණය, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, සන්නිවේදන, ගෙවීම් සහ පියවීම්, සේවක අර්ථසාධක අරමුදල්, මූල්‍ය කටයුතු, අවදානම් කළමනාකරණ, තැන්පතු රක්ෂණ, ආරක්ෂක සේවා සහ තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ව විවිධ මට්ටමේ තනතුරු දරමින් මේ දක්වා වසර 31කට අධික කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ, දේශීය මෙහෙයුම් කටයුතු, සන්නිවේදන යන දෙපාර්තමෙන්තුවල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති තාසිම් මහතා ශ්‍රී ලංකාවේ බැංකු කටයුතුවල නෛතික රාමුව ශක්තිමත් කිරීම, පාලනය සහ බාසල් III ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා ප්‍රමිති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය කටයුතු වාර්තා කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිති අංක 9 යොදා ගැනීම මගින් මෙරට බැංකු කටයුතු වඩා යහපත් තත්ත්වයකට පත් කර ගැනීම යන කාර්යයන් සඳහා සිය දායකත්වය සැපයී ය. තවද, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලෙස තාසිම් මහතා ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල ආයෝජනය, කළමනාකරණය සහ විනිමය අනුපාත කළමනාකරණය පිළිබඳ වගකීම දැරුවේ ය. තාසිම් මහතා ගෙවීම් පද්ධති ක්‍ෂේත්‍රයේ අත්දැකීම සහ දැනුම ද ලබා ඇති අතර, ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ විය. මීට අමතරව, ඔහු මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ ජාත්‍යන්තර සංචිත යන ක්ෂේත්‍ර ඇතුළු ඉහළ මට්ටමේ අභ්‍යන්තර කමිටු කිහිපයක ද සේවය කර ඇත.

නියෝජ්‍ය අධිපති ලෙස පත්වීමට පෙර තාසිම් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන දෙපාර්තමේන්තු කිහිපයක් භාර ව කටයුතු කළේය. ඔහු පාලක මණ්ඩලය, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, විගණන කමිටුව, මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව, ආචාර ධර්ම කමිටුව සහ මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණ කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළේය.

මේ වන විට තාසිම් මහතා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) උප සභාපති වශයෙන් ද කටයුතු කරයි. තව ද, ඔහු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සහ ලංකාක්ලියර් (පෞද්) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

තාසිම් මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) ආශ්‍රිත සාමාජිකයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) ලබා ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ Haas School of Business වෙතින් රන් සංචිත කළමනාකරණය පිළිබඳ වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. ඔහු ජෝන් එෆ්. කෙනඩි රජයේ පාසල විසින් පවත්වනු ලබන සංවර්ධනයේ නායකයින් පිළිබඳ විධායක වැඩසටහන සාර්ථකව නිම කර ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි.