දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන (1995 – 2004)

Deshamanya A S Jayawardena

දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ දසවන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 1995 නොවැම්බර් මස සිට 2005 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී. 

මාතලේ ශාන්ත තෝමස් සහ කොළඹ රාජකීය යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ දේශමාන්‍ය ජයවර්ධන සිය ප්‍රථම උපාධිය වශයෙන් ආර්ථික විද්‍යා (ගෞරව) උපාධිය 1957 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකර ගත්තේ ය. 1965 වර්ෂයේ රාජ්‍ය අංශ ආර්ථිකය පදනම් කරගනිමින් ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විද්‍යාපති උපාධිය හිමි කර ගත් ඔහු 1975 දී හාවඩ් විශ්විද්‍යාලයෙන් රාජ්‍ය මූල්‍යය පදනම් කරගනිමින් රාජ්‍ය පරිපාලන විද්‍යාවේදී උපාධිය ද හිමි කර ගත්තේ ය. හාවඩ් විශ්විද්‍යාලයේ දී ඔහුට එඩ්වඩ් මේසන් අධිශිෂ්‍යත්වයක් (Edward Mason Fellowship) ද හිමි වුනි. 

දේශමාන්‍ය ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකු සේවයට එක්වුනේ 1958 දී ය. ඉන් පසු ලේකම්, පරිශ්‍ර හා ආර්ථික පර්යේෂණ යන දෙපාර්තමේන්තුවල සේවය කර 1977 – 1980 දක්වා ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. 1980 – 1981 දක්වා සහකාර අධිපතිවරයෙකු හා විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කළ ඔහු 1981 – 1986 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කළේ ය. 1986 – 1989 දක්වා නියෝජ්‍ය අධිපති වශයෙන් ද 1993 – 1994 දක්වා ජ්‍යේෂඨ නියෝජ්‍ය අධිපති වශයෙන් ද සේවය කර ඇත. 

රාජ්‍ය අංශයේ ආයතන කිහිපයකටම සිය සේවය ලබා දීම අවස්ථා කිහිපයක දී මහ බැංකු සේවයෙන් මුදා හැරුනු දේශමාන්‍ය ජයවර්ධන 1976 – 1977 දක්වා ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී (ප්‍රධාන විධායක)  ලෙස ද 1989 වර්ෂයේ ලංකා බැංකුවේ හා මර්චන්ට් බැංකුවේ සභාපති ලෙස ද කටයුතු කළේ ය. 1989 – 1993 දක්වා කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද, 1994 – 1995 දක්වා මහ භාණ්ඩාගාරය, මුදල් හා ක්‍රමසම්පාදන, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශවල ද ලේකම් ලෙස කටයුතු කර ඇත. 1965 – 1976 දක්වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද ඔහු සේවය කර ඇත. 

2001 වර්ෂයේ දී දේශමාන්‍ය ජයවර්ධන මහතා ලෝක බැංකු “Development Maketplace” තරඟයේ ජයග්‍රාහකයෙකු වූ අතර ශ්‍රී ලංකා රජය විසින් 2005 වසරේ දී ඔහුට දේශමාන්‍ය ගෞරව නාමය පිරිනමන ලදී.