නිතර අසනු ලබන ප්‍රශ්න

මුදල් ප්‍රතිපත්තිය  

මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද?

මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායීතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් මුදලේ පිරිවැය (පොලිය) සහ මුදල් ප්‍රමාණය (මුදල් සැපයුම/ද්‍රවශීලතාව) මත බලපෑම් සිදු කරනු ලබන ක්‍රියාවලියකි.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම කවුරුන් සතු වේ ද?

ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වේ. මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ප්‍රධාන බලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වේ.

මුදල් මණ්ඩලය වෙත මුදල් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම දරනුයේ අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන මුදල් ප්‍රතිපත්ති කමිටුව (Monetary Policy Committee) විසිනි. මුදල් අංශයේ ප්‍රවණතා හා සාර්ව ආර්ථික වර්ධනයන් අධීක්ෂණය කිරීම සහ සුදුසු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ නිර්දේශ මුදල් මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කිරීම මුදල් ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුව කුමක් ද?

ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායිව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ දී සිය මුදල් ප්‍රතිපත්තිය නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යනු කුමක් ද?

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් යටතේ සිදු කෙරෙන මුදල් ප්‍රතිපත්තිය මගින් මූර්ත ආර්ථිකයට අවම බලපෑමක් ඇති වන පරිදි උද්ධමන ඉලක්කයක් වටා උද්ධමනය ස්ථායිව පවත්වා ගැනීමට අරමුණු කරයි. වර්තමානයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවකට අනුකූලව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතරම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායිව පවත්වා ගැනීමට අරමුණු කර ගනී. මෙම මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ක්‍රියාවලිය සැලකූ විට, කෙටිකාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කරනු ලබන අතර, විශේෂයෙන්ම මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යොදා ගනී.

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාවිත කරනු ලබන උපකරණ මොනවා ද?

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ව මුදල් ප්‍රතිපත්ති උපකරණ ලෙස භාවිත කළ හැකි උපකරණ රාශියක් තිබේ.  ප්‍රතිපත්ති පොලී අනුපාතික, විවට වෙ‍ෙළඳපොළ කටයුතු සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවට භාවිත කළ හැකි ප්‍රධාන උපකරණ වේ. මීට අමතර ව බැංකු අනුපාතිකය, ප්‍රතිමූල්‍ය පහසුකම්, ණය මත ප්‍රමාණාත්මක සීමා, පොලී අනුපාතික මත සීමා සහ ශිෂ්ට ප්‍රයෝග ද භාවිත කළ හැකි වේ. මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපකරණ තෝරා ගැනීමේ නිදහස ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන ප්‍රතිපත්ති පොලී අනුපාතික මොනවා ද?

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standard Deposit Facility Rate) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standard Lending Facility Rate) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වේ. මෙයට පෙර මෙම අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රතිවිකුණුම් අනුපාතික ලෙස හඳුන්වන ලදී. 

බැංකු පද්ධතියෙන් අතිරික්ත ද්‍රවශීලතාව එක් දින පදනම මත අවශෝෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන අවම අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වේ. 2014 පෙබරවාරි 1 වන දින සිට නිත්‍ය තැන්පතු පහසුකම සුරැකුම්පත් රහිත ව සිදු කිරීම ආරම්භ කරන ලදී.

බැංකු පද්ධතිය වෙත එක් දින පදනම මත ද්‍රවශීලතාව සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කරනු ලබන උපරිම අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ.

නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව යනු කුමක් ද?

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මගින් නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව නිර්මාණය වන අතර, එය ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව ලෙස ද හැඳින්වේ. මෙම කොරිඩෝවේ පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය වන අතර, ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වේ. මෙම ඉහළ හා පහළ සීමා අනුපාතිකවල වෙනස්වීම් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්වීම් පිළිබිඹු වේ. කෙටි කාලීන වෙ‍ෙළඳපොළ පොලී අනුපාතිකවල සැලකිය යුතු විචලනයන් සිදු වීමට ඇති ඉඩකඩ සීමා කිරීමට සහ වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය වශයෙන් උපයෝගී වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමට නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව උපකාරී වේ.

විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද?

පිළිගත හැකි සුරැකුම්පත් භාවිත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය හා ගැළපෙන පරිදි වෙ‍ෙළඳපොළ ද්‍රවශීලතාව පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන වෙ‍ෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් කටයුතු විවට වෙළෙඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. රජයේ සුරැකුම්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් විවට වෙ‍ෙළඳපොළ කටයුතු සඳහා භාවිත කළ හැකි‍ වේ.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ කාර්යභාරය කුමක්ද?

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ප්‍රවීණ වෘත්තිකයන්, විද්වතුන් සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණයන් ඇතුළු විවිධ අංශවල පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත වේ. විශේෂයෙන්ම, ආර්ථිකයේ මුදල් සහ මූල්‍ය අංශවල මෙන්ම සමස්ත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික තත්ත්වයන් සහ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදහස් හා අපේක්ෂා ඉදිරිපත් කිරීම මෙම ඉහළ මට්ටමේ උපදේශන කමිටුවේ මූලික කාර්යභාරය වේ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳ ආර්ථිකයේ පාර්ශ්වකරුවන්ගේ දැක්ම අනුව අදහස් දැක්වීම පාර්ශ්වකරුවන්යේ සහභාගිත්ව කමිටුව වෙතින් අපේක්ෂා කරන අතර එමගින් වඩාත් උපදේශනාත්මක ආකාරයකින් දැනුම්වත් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

  1. සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.
  2. පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.
  3. පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.
  4. පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.
  5. පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ.

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (SLIBOR) යනු කුමක් ද?

ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය මුදල් වෙළඳපොළ ප්‍රවණතා නිරූපණය කරනු ලබන පොලී අනුපාතිකයකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත්කිරීම නැවත්වීමට තීරණය කරන ලදී. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට භාජනය වූ කරුණු වනුයේ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ ණය උපකරණ සඳහා වන පදනම් මිල තීරණය කිරීමේදී ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික භාවිත කිරීම අවම වීම, ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතික (LIBOR) ඇතුළුව එවැනි අර්පණ අනුපාතික ගණනය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමෙන් ගෝලීය වශයෙන් බැහැරවීමේ ප්‍රවණතාව, අන්තර් බැංකු වෙළඳපොළේ දිගුකාලීන පරිණත කාල සීමා සඳහා පවතින අඩු පරිමාවන් හමුවේ අර්පණ අනුපාතික වාර්තා කිරීම නවතාලීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් කරන ලද ඉල්ලීම් සහ දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ විකල්ප පදනම් පොලී අනුපාතික පැවතීම යනාදියයි.

තෝරාගත් බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් ඒක්ෂණ මුදල් වෙළඳපොළ තුළ විවිධ පරිණත කාලසීමාවලින් යුත් ගනුදෙනු සඳහා පිරිනැමීමට අපේක්ෂිත පොලී අනුපාතිකවල සාමාන්‍යය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය ගණනය කරන ලදී. බැංකු විසින් පිරිනමනු ලබන පොලී අනුපාතික මත පදනම්ව, එක් දින, දින 7, මාස 1, මාස 3, මාස 6 සහ මාස 12 යන පරිණත කාල සීමා සඳහා අදාළ වන ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතික ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිනපතා ගණනය කර ප්‍රකාශයට පත් කරන ලදී.

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) යනු කුමක් ද?

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු අන්තර් බැංකු ඒක්ෂණ මුදල් ගනුදෙනුවල එනම් එක් දින පදනමින් වාණිජ බැංකු අතර සුරැකුම් රහිත ව සිදු කරන ගනුදෙනුවල බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස මෙම අනුපාතිකය යොදා ගනු ලබයි. 

බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) යනු කුමක්ද? බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) යනු කුමක් ද?

වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති සියලුම නොපියවූ රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාසිකව බරිත සාමාන්‍ය ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ.

සතියක් තුළ වාණිජ බැංකු විසින් සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබන ණය පොලී අනුපාතික පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය ගණනය කරනු ලැබේ. සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකවල මාසික සාමාන්‍යය ද ප්‍රකාශයට පත් කරනු ලැබේ.

බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) යනු කුමක් ද?

වාණිජ බැංකු වෙතැති සියලු පොලී උපයන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.

වාණිජ බැංකු වෙතැති සියලුම නොපියවූ කාලීන රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) යනු කුමක් ද? බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) යනු කුමක් ද?

මාසයක් තුළ වාණිජ බැංකුවල තැන්පත් කර ඇති සියලුම පොලී උපයන නව රුපියල් තැන්පතුවලට අදාළ බරිත සාමාන්‍ය පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.

මාසයක් තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දී ඇති සියලුම නව රුපියල් ණය සහ අත්තිකාරම්වල පොලී අනුපාතික මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය මාසිකව ගණනය කරනු ලැබේ.

නෛතික/වෙ‍ෙළඳපොළ පොලී අනුපාතිකය යනු කුමක් ද?

1990 අංක 06 දරන සිවිල් නඩු විධාන (සංශෝධන) පනත යටතේ නෛතික පොලී අනුපාතිකය නිර්වචනය කර ඇති අතර, එය මුදලක් අය කර ගැනීම සම්බන්ධයෙන් වූ ඕනෑ ම නීතිමය ක්‍රියා මාර්ගයක දී අදාළ වේ. 1990 අංක 02 දරන ණය ආපසු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ වෙ‍ෙළඳපොළ අනුපාතික නිර්වචනය කර ඇති අතර, එය ණය දෙන ආයතන විසින් වාණිජමය ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ රු.150,000/-කට වඩා වැඩි ණය මුදලක්  අය කර ගැනීමේ දී ඒ සඳහා එකඟ වූ පොලී අනුපාතිකයක් නොමැති විටක අදාළ වේ. 

ඉදිරි වසර සඳහා බල පවත්වන වෙළඳපොළ පොලී අනුපාතිකය සහ නෛතික පොලී අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසරේ දෙසැම්බර් මාසයේ දී ගණනය කර ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනු ලැබේ.