අර්බුද අවස්ථා සන්නිවේදනය

ආර්ථික පර්යේෂණ

උද්ධමනය සහ මුදල් අච්චු ගැසීම/ විනිමය අනුපාත කළමනාකරණය

උද්ධමනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන්නේ මොනවාද?

ඉහළ යා හැකි උද්ධමන පීඩන අවම කිරීමට සහ විනිමය අනුපාතය කළමනාකරණය මත හට ගන්නා පීඩනය අවම කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල (LCBs) සියලු රුපියල් තැන්පතු මත අදාළ වන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) ඉහළ නැංවීම මගින් 2021 අගෝස්තු මාසයේ දී එහි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ඇරඹීය.
2021 අගෝස්තු මාසයේ සිට 2022 අප්‍රේල් දක්වා යන කාලය තුළ දී, අවස්ථා හතරක දී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික (SLFR) පිළිවෙලින් සියයට 13.50ක් සහ සියයට 14.50ක සමස්තයක් ලෙස, පදනම් අංක 900කින් ඉහළ නංවන ලදී.
බැංකු පද්ධතියෙන් රුපියල් ද්‍රවශීලතාවෙන් විශාල කොටසක් අවශෝෂ කර ගනිමින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.0ක් දක්වා ප්‍රතිශතාංක 2කින් ඉහළ නංවන ලදී.
ණයපත්, පෙර සකස් කළ තාවකාලික අයිරා සහ උකස් පහසුකම් වැනි තෝරාගත් ණය දීමේ නිෂ්පාදිත මත උපරිම පොලී අනුපාතික ලිහිල් කිරීම සහ අනතුරුව ඉවත් කිරීම ඇතුළුව අනෙකුත් නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, අධික පාරිභෝජනය අධෛර්යමත් කරමින් සහ ඉතුරුම් දිරිමත් කරමින් වෙ‍ෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් අවසානයේ දී ආර්ථිකයෙහි පවතින සමස්ත ඉල්ලුම සීමා කිරීමට උපකාරී වේ.
තවද, ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි කාලයේ දී උද්ධමනය පහත දැමීමට උපකාරී වනු ඇති නිරුද්ධමනකාරී උපාය මාර්ගය මත මහ ජනතාව සමඟ නිරත වෙයි. උද්ධමනය ඉලක්කගත මට්ටම කරා නැවතත් කඩිනමින් ගෙන ඒම සඳහා සිදු කෙරෙන මෙම සන්නිවේදනය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම අහිතකර උද්ධමන අපේක්ෂාවන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමට උපකාරී වනු ඇත.
එබැවින්, ඉල්ලුම නිසා ආර්ථිකය තුළ ඇති විය හැකි උද්ධමන පීඩන ඉදිරි කාලයේ දී පහව යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, උද්ධමනය සහ උද්ධමනකාරී අපේක්ෂා අපේක්ෂිත මට්ටම් තුළ ස්ථායී වනු ඇත.
ගෝලීය මිල පීඩන ද ඉදිරි කාලයේ දී ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීම අවම කර තිබේ ද?

මුදල් අච්චු ගැසීම යනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකය වෙත නව මුදල් සැපයීමේ ක්‍රියාවලිය යි. මුදල් අච්චු ගැසීම පහත පරිදි විවිධාකාරයෙන් විස්තර කළ හැකිය.

- සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදලෙහි ඉහළ යෑමක්
­­- මුදල් සැපයුමෙහි ඉහළ යෑමක් හෝ මුදල් සමස්තයන්හි ප්‍රසාරණයක්
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනුම් (එනම්, මුදල් මූල්‍යනය)
- දේශීය මුදල් වෙළෙඳපොළෙහි අධික ද්‍රවශීලතාව ඉහළ යෑම.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් රජයේ සුරැකුම්පත් මිල දී ගැනීමෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් පෙරළා ඉහළ යෑම මුදල් අච්චු ගැසීමෙහි පොදු නිර්වචනය ලෙස සැලකෙයි.
කොවිඩ් - 19 වසංගතය සහ ආර්ථික කටයුතුවලට ඒ ආශ්‍රිතව සිදු වූ බාධාවන් හමුවේ ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් නොපැවතීම සහ පවතින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් (වැටුප් හා වේතන ඇතුළුව) සපුරා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීම අවශ්‍ය වී තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධිමත් පදනමක් මත අච්චු ගැසූ මුදල් ප්‍රමාණය පාලනය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත. පළමුව, රජයට වෙළෙඳපොළ මූලාශ්‍ර ඔස්සේ අවශ්‍ය මුදල්වලින් විශාල කොටසක් ඉහළ නංවා ගැනීමට උපකාරී වූ, වෙළඳපොළ තත්ත්වයන් පිළිබිඹු කිරීම සඳහා රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික ඉහළ නැංවීමට ඉඩ ලබා දී තිබේ. දෙවනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිශය අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සපුරා ගැනීම සඳහා පමණක් අවශ්‍ය වන මුදල් සපයන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත්වල ඉහළ යෑම මෑතක දී ඉතා විශාල ප්‍රමාණයකින් ලිහිල් විය.

තවද, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නයන් මගින් රාජ්‍ය ආදායමෙහි අපේක්ෂිත ඉහළ යෑමත් සමඟ, ඉදිරි කාලයේ දී මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් සැලකිය යුතු ලෙස පහළ යනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රමාණය පහළ බසිනු ඇත.

පොලී අනුපාතික තවදුරටත් ඉහළ යනු ඇති ද නැතහොත් පොලී අනුපාතික පහළ යෑමේ හැකියාවක් පවතින්නේ ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් වශයෙන්, වෙළෙඳපොළ පොලී අනුපාතික 2021 මැද භාගයේ දී/ 2021 අග භාගයේ දී නිරීක්ෂණය වූ මට්ටම්වල සිට 2022 වසරේ මේ වන තෙක් ඉහළ ගොස් ඇත.
විශේෂයෙන් ම පිරිවැය (පොලී අනුපාතික) සහ පවතින ණය දැඩි කිරීමෙන් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග මගින් ඉල්ලුමෙන් ඇති වන උද්ධමනය පාලනය කිරීම අරමුණු කෙරේ.
මෙම අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ආර්ථිකය තුළ ඉල්ලුමෙන් ඇති වන උද්ධමන පීඩන මැඩපැවැත්වීමට ප්‍රමාණවත් නොවන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අතිරික්ත ඉල්ලුම් පීඩන සීමා කිරීම සදහා පොලී අනුපාතික තවදුරටත් ඉහළ නැංවීමේ හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය සලකා බලනු ඇත. කෙසේ වෙතත්, උද්ධමනකාරී පීඩන ස්ථාවර වීමේ සලකුණු (දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් පසු) ඇති වීමට ආරම්භ වුවහොත්, ශ්‍රී ලංකා මහ බැංකුවට අනාගතයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික අවම කිරීම මගින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රමානුකූලව ලිහිල් කළ හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළෙඳපොළ පොලී අනුපාතික පහත වැටෙනු ඇත.
මුදල් ප්‍රතිපත්ති තීරණ, ප්‍රධාන වශයෙන්ම පොලී අනුපාතිකය පිළිබඳ තීරණය පොදුවේ දත්තවලින් මෙහෙයවනු ලබන සහ ක්‍රියාකාරී තීරණයකි. ගෝලීය සහ දේශීය සාර්ව ආර්ථිකමය වශයෙන් සිදු වන සංවර්ධනයන්, ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යතාවල පුරෝකථන සහ අනෙකුත් දෑ අතර නැඟී එන අවදානම් මත පදනම්ව මුදල් මණ්ඩලය විසින් තීරණ ගනු ලැබේ. එබැවින්, මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයේ අනාගත ගමන් මඟ විශාල වශයෙන් මෙම සාධක මත රඳා පවතින අතර, මුදල් මණ්ඩලය විසින් මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති තීරණ ගනු ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමි වන සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ජය ගැනීම සඳහා සහාය ලබා දිය හැක්කේ කෙසේද?

ජාත්‍යන්තර සංචිත පහත මට්ටමක පැවතීම සලකා බලමින්, නුදුරු කාලයේ දී පියවීමට තිබෙන සැලකිය යුතු ඉහළ විදේශීය ණය සේවාකරණ ගෙවීම් සේවාකරණය අතිශය අභියෝගකාරී විය. වාණිජ බැංකු සඳහා ලබා දුන් ණය සැපයුම් මාර්ග ඇතුළුව, ඉහළ ආනයන ගෙවීම් සහ විදේශ විනිමය ලැබීම් පහළ යෑම හමුවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව අවම විය. මෙමගින් දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ විශාල ඌණතාවක් හට ගත් අතර, දළ නිල සංචිත සැලකිය යුතු ලෙස පහත වැටුණි. එබැවින්, ඉන්ධන, ගෑස්, ගල් අඟුරු, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර අයිතම සඳහා පවතින විදේශ විනිමය ඉල්ලුම් සපුරාලීම සඳහා යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට රටට අවශ්‍ය විය.
මෙම පසුබිමෙහි දී, ඉතාමත් නුදුරු අනාගතයේ දී විදේශ මූල්‍යනයෙහි ප්‍රමාණාත්මක අගයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහනකට අවතීරණය වීම මගින් අතිරේක මූල්‍යනය වෙත ප්‍රවේශය ලබා දීම පමණක් නොව, බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික පුද්ගලයන් ඇතුළුව අනාගත විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය ද වඩා වර්ධනය කරනු ඇත.
මෙමගින්, සාර්වආර්ථික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමත් සමඟ ණය නොවන විදේශ විනිමය ලැබීම් තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇති පරිදි සමස්ත සාර්ව ආර්ථිකය ස්ථාවර කෙරෙනු ඇත.
තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් සහාය ලත් සාර්වආර්ථික ස්ථායීකරණ වැඩසටහන ඔස්සේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් ක්‍රමානුකූලව ඉහළ නංවා ගැනීමට උපකාරී වනු ඇති අතර, එමඟින් ඉදිරි කාලයේ දී විදේශීය මූල්‍යනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පිවිසීමට හැකියාව ලැබෙනු ඇත‍.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන මූල්‍ය සහාය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අරමුදල් සැකැස්මක් යටතේ වන අරමුණු, ප්‍රතිපත්ති සහ කොන්දේසි සහිත බව රටක නිශ්චිත ආර්ථික තත්ත්වයන් මත රඳා පවතියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක (QPC), සූචක ඉලක්ක (IT), ව්‍යුහාත්මක මිනුම් ලකුණු (SB) යනාදිය සපුරාලීම මත අරමුදල් ගෙවීම කොන්දේසි සහගත වන ආකාරයකට නිර්මාණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලින් කලට එහි වැඩසටහන්වල කාර්යසාධනය සමාලෝචනය කරනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වැඩසටහනෙහි සාර්ථකත්වය වැඩි දියුණු කිරීමට සහ අවදානම් අවම කිරීම සඳහා පුරෝකථනයන්හි ප්‍රායෝගිකභාවය වැඩිදියුණු කිරීමට, ණය තිරසාරාත්මකභාව විශ්ලේෂණය තියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ව්‍යුහාත්මක කොන්දේසි සකස් කිරීම වැඩි දියුණු කිරීමට ක්‍රියාමාර්ග නිර්දේශ කරනු ලබයි.

* වැඩිදුර විස්තර සඳහා 2021 මහ බැංකු වාර්ෂික වාර්තාවේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනෙහි වැදගත්කම’ යන මැයෙන් දක්වා ඇති විශේෂ සටහන බලන්න,

https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports/annual-report-2021

 

රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය

රාජ‍්‍ය ණය යනු කුමක්ද?

රටක රාජ්‍ය ණය යනු පසු ගිය ණය ගැනීම්වලින් හට ගන්නා නොපියවූ මූල්‍ය වගකීම් සමස්තය යි. රටක රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය හිඟයක් අත්දකින විට දී, එමගින් රාජ්‍ය ණය සමුච්චිත වීමට හේතු වන අතර, එම හිඟය දේශීය සහ විදේශීය මූලාශ්‍රවලින් ණය ගැනීම ඔස්සේ මූල්‍යනය කළ යුතු වේ. රාජ්‍ය ණය ප්‍රවාහයකට වඩා ස්කන්ධයක් වන බැවින්, එය මනිනු ලබනුයේ දී ඇති දිනයකට ය. රටක රාජ්‍ය ණය එහි නේවාසිකයන්ට හෝ අනේවාසිකයන් වෙත ණය වී තිබිය හැකිය. නේවාසිකයන් වෙත පවතින ණය දේශීය ණය ලෙස සැලකෙන අතර, අනේවාසිකයන් වෙත පවතින ණය විදේශීය ණය වේ. දේශීය ව්‍යවහාර මුදලින් හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය නිරූපණය කළ හැකි අතර, විදේශීය ව්‍යවහාර මුදලින් නිරූපිත ණයෙහි දේශීය ව්‍යවහාර මුදල් අගය විනිමය අනුපාතික චලනයන්ට සංවේදී වේ. 2021 වසර අවසානයේ දී, ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ නොපියවූ ණය රුපියල් බිලියන 17,589.3ක් වූ අතර, ඉන් සියයට 63.1ක් දේශීය ණය සහ ශේෂය විදේශීය ණය විය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු කුමක්ද?

රටක් එහි දැනට පවතින ණය වගකීම් සේවාකරණය කිරීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින විට හෝ එරටෙහි පවතින ණය ප්‍රතිමූල්‍යනය කිරීමට නොහැකි වන විට දී, රජය විසින් ණය සහ බැඳුම්කර වැනි නොපියවූ ණය උපකරණ වෙනස් ණය සේවාකරණ නියමයන් තිබෙන නව උපකරණවලට හුවමාරු කර ගැනීම සඳහා දැනට සිටින ණය ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම හෝ ණය සේවාකරණ ගෙවීම් වඩාත් කළමනාකරණය කළ හැකි බවට පත් කිරීමට විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ අදාළ නොපියවූ ණය උපකරණ මුදල් බවට පත් කිරීමට ක්‍රියා කරනු ඇත. මෙය ණය ප්‍රතිව්‍යුහගතකරණය ලෙස හැඳින්වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියත් සමඟ අලුතින් එකඟ වූ ණය සේවාකරණ ගෙවීම් නියමයන් යටතේ රජයට එහි ණය සේවාකරණය කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහත සංරචකවලින් එකක් හෝ දෙකම ඇතුළත් විය හැකිය: එනම්, පැරණි ණය කල් පිරීම් දීර්ඝ කිරීම ඇතුළත් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය, ඇතැම් විට අඩු පොලී අනුපාතික යටතේ; සහ පැරණි ණය උපකරණවල මුහුණත් අගයෙහි පහළ යෑමක් ඇතුළත් වන ණය පහළ යෑමක්. මෙම සංරචක දෙකම මගින් වර්තමාන අගයට අනුව ණය දෙන්නන් වෙත අලාභයක් ඇති කරයි.

ණය අවම කිරීම/ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන්නේ කෙසේද?

මූලික වශයෙන් රජයේ මුළු වගකීම්වල සහ රජය විසින් ණය වී තිබෙන පාර්ශ්වයන් කවුරුන් ද යන්න පිළිබඳ පරිපූර්ණ තක්සේරුවක් සිදු කළ යුතු වේ. නව ණය සේවාකරණ ගෙවීම් නියමයන් සහ කොන්දේසිවලින් සමන්විත වන නව ණය උපකරණ සමඟ දැනට පවතින ණය උපකරණ හුවමාරු කර ගැනීම සඳහා දැනට සිටින ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට රජයට සිදු වේ. මෙම සාකච්ඡාවන් පොලී අනුපාතික අවම කිරීම, ණය උපකරණවල කල්පිරීම් දීර්ඝ කිරීම, ණය උපකරණවල මුහුණත් අගය අවම කිරීම සහ ණය සේවාකරණ ගෙවීම් සඳහා සමා කාලයක් හෝ සහන කාලයක් ලබා ගැනීම පිළිබඳව විය හැකිය. ණය අගයෙහි සංශෝධිත නියමයන් මගින් අනාගතයේ දී ණය වගකීම් පියවීම සඳහා රජය සතු හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මෙම සාකච්ඡාමය ක්‍රියාවලිය තුළ දී, රජය විසින් රාජ්‍ය මූල්‍ය අංශය ඇතුළුව, රටේ සාර්ව ආර්ථික කාර්යසාධනය වැඩි දියුණු කිරීම සහ අධීක්ෂණය කිරීම පිළිබඳව ආර්ථික සැලැස්මක් සපයනු ලැබිය යුතුය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි සාර්ථකත්වය රටේ ආර්ථික දත්ත, රජයේ ආර්ථික සැලැස්ම මෙන්ම සාර්ව ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහතික කරනු ඇති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි විශ්වසනීය ආයතනයක මැදිහත්වීම මත සවිමත් වනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් ණය ලබාදෙන්නන් වෙත ඉදිරිපත් කළ විට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අර්පණය පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම ණය ලබාදෙන්නන්ගේ අභිමතය පරිදි සිදු වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නියම වශයෙන් නොපියවූ මුළු ණය මුදලින් යම් අවම කොටසක හිමිකරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වේ. එබැවින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ දී, ණය දෙන්නන් සම්බන්ධීකරණ ගැටලු සහ රඳවා තබා ගැනීමේ අවදානම් (එනම්, ණය දෙන්නන්ගෙන් සැලකිය යුතු කොටසක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා දීම රඳවා තබා ගැනීම සහ ණය මුදලෙහි මුළු මුහුණත් අගය සඳහා ඉල්ලීම් කිරීමට ඔවුන් සතු නීතිමය හිමිකම රඳවා ගනී) උග්‍ර ගැටලු ලෙස පවතියි. එබැවින්, ණයගැති රටවල් විසින් මුහුණ දෙනු ලබන ගෙවීම් දුෂ්කරතා සඳහා ක්‍රියාත්මක කළ හැකි විසඳුමක් ගෙන ඒම අරමුණු කර ගත් ප්‍රංශ සමාජය (Paris Club) වැනි ණයහිමි කණ්ඩායම් සමඟ පවත්වනු ලබන සාකච්ඡා මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට මෙන්ම, ණය දෙන්නන් සම්බන්ධීකරණ සහ රඳවා ගැනීමේ ගැටලු අවම කර ගැනීමට සහාය ලබා දෙනු ඇත.

 

ආර්ථික වර්ධන අපේක්ෂා

මැදි කාලයේ සිට දිගු කාලීනව අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ මොනවාද?

මැදි කාලයේ සිට දිගු කාලීනව, රජය විසින් ආර්ථිකයෙහි ‍ඵලදායී ධාරිතාව පුළුල් කිරීමෙහිලා ඉලක්කගත කර ඇති ප්‍රතිසංස්කරණ ඇතුළුව විශ්වසනීය සාර්ව ආර්ථික සැලැස්මක් සහ ජාතික ප්‍රතිපත්ති වැඩසටහනක් පිහිටුවිය යුතු අතර, විශේෂයෙන් ම, පුද්ගලික අංශය ඇතුළුව, ආර්ථිකයේ සියලු පාර්ශ්වයන්හි සහාය ඇතිව සමස්ත දේශය සඳහා සාධාරණාත්මක ප්‍රතිලාභ ලබා දෙන, ඉහළ සහ තිරසාරාත්මක වර්ධන මගක් සහතික කළ යුතුය. වත්මන් ආර්ථික අර්බුදය මගින් යළි යළිත් අවධාරණය කර ඇති පරිදි, ඕනෑම වර්ගයක අනපේක්ෂිත කම්පනයන්ට එරෙහිව ආර්ථිකයනොසැලී සිටින පරිදි ශක්තිමත් කිරීමේ අරමුණැතිව, මෙම දිගු කල් පවත්නා ව්‍යුහාත්මක බාධාවන් වහාම නිරාකරණය කළ යුතු වේ.
පවතින සාර්ව ආර්ථික අසමතුලිතතා බොහොමයක හේතු මූල්‍ය හට ගෙන ඇත්තේ රාජ්‍ය මූල්‍ය ප්‍රභවයකින් බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, රජයේ ආදායම් යෙදවීම ශක්තිමත් කිරීම සහ වියදම් තිරසාරාත්මක අයුරින් තාර්කීකරණය, මැදි කාලයේ සිට දිගු කාලීනව ප්‍රාථමික ශේෂයෙහි අතිරික්ත ඇති කිරීම යනු රාජ්‍ය මූල්‍ය තිරසාරාත්මකභාවය තහවුරු කිරීමේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ වේ.
රාජ්‍ය ව්‍යවසායන්ගේ ව්‍යාපාර යළි ක්‍රමෝපගත කිරීම සහ එමඟින් මෙම ආයතනවලින් රජය මත සහ දේශීය මූල්‍ය අංශය මත පැටවෙන මූල්‍යමය බර අවම කිරීම. මේ හා සම්බන්ධව සලකා බැලීමේ දී, පිරිවැය පිළිබිඹු කරන මිල ව්‍යුහයන් හඳුන්වා දීමට අමතරව, යහ පාලනය සහ වගකීම් යාන්ත්‍රණ ආයතනගත කිරීම, සැලකිය යුතු ඵලදායීතා වැඩි දියුණු කිරීම් මෙන්ම, අංශයෙහි සේවා සැපයීම්වල වර්ධනයන් ඇති කිරීමට අවශ්‍ය වේ.
රජයෙහි සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම අවශ්‍යතා සහිත අංශ සහ කණ්ඩායම් මැනවින් ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම.
මහජන වගකීම සහ රාජ්‍ය ආයතනවල විනිවිදභාවය තහවුරු කිරීම සඳහා නෛතික රාමු ශක්තිමත් කිරීම.
රාජ්‍ය ණය තිරසාරාත්මකබාවය අත්පත් කර ගැනීමේ දී සහ එය පවත්වා ගෙන යෑමේ දී විස්තීරණ සහ පැහැදිලි ප්‍රවේශයක් අනුගමනය කිරීම.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව, බැංකු පද්ධතියෙහි රාජ්‍ය අංශය මත අධික ලෙස යැපීම අවම කිරීම සඳහා විකල්ප මූල්‍යන ප්‍රභවයන් ගවේෂණය කිරීම සහ බැංකු පද්ධතියෙහි මූල්‍යමය ශක්තිය කරා වැඩි දියුණු කිරීම් සිදු කළ හැකි දිගු කලක සිට අවශ්‍ය වී පවතින ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.
ගෙවුම් ශේෂ ගැටලු තිරසාරාත්මක පදනමක් මත නිරාකරණය කිරීම සඳහා විශේෂයෙන් ම ඍජු විදේශ ආයෝජන තුළ වැනි ණය නොවන විදේශ විනිමය ලැබීම්වලට අනුව, විදේශ විනිමය ලැබීම් ශක්තිමත් කිරීම.
දේශීය කර්මාන්ත, ආනයන අදේශන කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කරන අතරතුර, අපනයන කළඹ ද සාම්ප්‍රදායික නොවන අංශ සහ සාම්ප්‍රදායික නොවන ස්‍ථාන දක්වා විවිධාංගීකරණය.
ආර්ථිකයෙහි බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත් පුනර්ජනනීය මූලාශ්‍ර මත වැඩි අවධානයක් යොමු කරන අතරතුර, සමස්ත බලශක්ති සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
පරිසර හිතකාමී ව්‍යාපාර කරා ණය සැපයීමට උපකාරී වනු ඇති ශ්‍රී ලංකාවෙහි තිරසාරාත්මක මූල්‍ය පරිචයන් ප්‍රවර්ධනය කිරීම.
පොහොර, කෘෂි රසායන මෙන්ම බීජ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.
පුහුණු ශ්‍රම බලකායක් සහ අති නවීන තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබා ගැනීම මත ප්‍රාග්ධනිකරණය කිරීම.

 

විදේශ විනිමය සංචිත ගොඩනඟා ගැනීම සඳහා අපනයන ඉපැයුම් ඉහළ නැංවීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දිය හැකි සහාය කුමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව හට අපනයන ඉහළ නැංවීමෙහිලා ඍජු කාර්යභාරයක් නොමැත. එනමුත්, ආර්ථිකයෙහි සහ මූල්‍ය පද්ධතියෙහි ස්ථායීභාවය පවත්වා ගෙන යෑමෙන් සහ ප්‍රතිපත්තිමය මට්ටමින් අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ඍජුව වග කියනු ලබන රජයේ නියෝජිත ආයතන සමඟ නිරත වීම මගින් අපනයනකරුවන් හට දියුණු වීමට හිතකර ව‍්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අරමුණු කරයි.
වෙළෙඳාම් කළ හැකි භාණ්ඩ සහ සේවාවන්හි ජාත්‍යන්තර තරඟකාරීබව තහවුරු කරන තරඟකාරී විනිමය අනුපාතිකයක් පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව අරමුණු කරයි.
තවද, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රතිපත්තිමය උපදේශන භූමිකාව තුළ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ GSP යෝජනා ක්‍රමවලින් ප්‍රතිලාභ ලැබීමට, අපනයන වර්ධනය අඩු වීම සහ වෙළෙඳ ශේෂය පුළුල් වීම සහ රජය වෙත අවශ්‍ය නිර්දේශන සැපයීමට අවශ්‍ය මූලාරම්භක නිර්ණායකයෙහි රීති සපුරාලීම සඳහා දේශීය අගය එකතු කිරීම ඉහළ නැංවීමේ අවශ්‍යතාව අඛණ්ඩව අවධාරණය කිරීමට සිදු වේ.
ස්ථාවර මූල්‍ය පද්ධතියක් සහ දියුණු ගෙවීම් සහ පියවීම් පද්ධතියක් පවත්වා ගෙන යෑමට දායක වීම මගින්, අපනයනකරුවන් හට ඔවුන්ගේ භාණ්ඩ පහසුවෙන් නැව්ගත කිරීමට සහ පහසුවෙන් ගෙවීම් ලබා ගැනීමට හැකි වේ. රට තුළ පවතින නීති විරෝධී සහ අවිධිමත් ගෙවීම් මාර්ග පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වඩාත් ශක්තිමත්, ස්ථාවර සහ විශ්වාසනීය ගෙවීම් පද්ධතියක් නිර්මාණය කර ගැනීමට උපකාරී වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෙළෙඳ දත්ත සකස් කරනු ලබන අතර, විදේශීය වෙළෙඳාම ආශ්‍රිත දැනුවත් තීරණ ගැනීමට හැකි වනු පිණිස එම දත්ත පාර්ශ්වයන් වෙත බෙදා හරිනු ලබයි.
ප්‍රමුඛ සේවා සහ වෙළෙඳ භාණ්ඩ අපනයනවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කාර්යසාධක බලකායන් තුළ දී ද ශ්‍රී ලංකා මහ බැංකු මුඛ්‍ය කාර්යභාරයක් සිදු කර ඇත.
එමෙන්ම, ප්‍රතිපත්තිමය උපදෙස් සැපයෙන ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ වෙළෙඳ සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ආරාධනා කෙරේ.