විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ජූලි

වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ  ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන්  2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් විය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කරන ලදී. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළේ ය. අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතියේ ය. 2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි. මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා ඉහළ ගියේ ය. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ශුද්ධ ලැබීම් වාර්තා වීම හමුවේ විනිමය අනුපාතිකය මත වූ පීඩනය ලිහිල් වූ අතර, දළ නිල සංචිත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට ද හැකි විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් සාපේක්ෂ ව අඩු මට්ටමකින් වුව ද විදේශීය ආයෝජන ගෙවීම් වාර්තා විය. 2020 වසරේ ජූලි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේ ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, September 14, 2020