10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය (Asia Cash Cycle Seminar) - 2019, කොළඹ, ශ්‍රී ලංකාව

2019 සැප්තැම්බර් 23 සිට 26 දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පවත්වන ලද 10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය - 2019 සඳහා “කරන්සි රිසර්ච් (Currency Research)“ ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරන ලදී. ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය මීට ඉහත දී අන්තර්ජාතික වාණිජ මුදල් මෙහෙයුම්  සම්මන්ත්‍රණය (International Commercial Cash Operations Seminar - ICCOS) ලෙස හැඳින්වූ අතර එය වාණිජ මුදල් කළමනාකරණය, බෙදා හැරීම සහ සංසරණය සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වේ. වසර 24ක් පැරණි මෙම සම්මන්ත්‍රණ මාලාවේ ඉතිහාසයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වූ ප්‍රථම දකුණු ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවයි.

මෙම සුවිශේෂී අවස්ථාව ආසියා කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සිටින මුදල් ක්‍ෂේත්‍රයේ නියමුවන් සහ විශේෂඥයන් එක් වහලක් යට දී පිරිවැය ඉතිරි කිරීමේ තාක්‍ෂණයන්, උපාය මාර්ග, මනා භාවිතයන් පිළිබඳ ඔවුන්ගේ දැක්ම හා අදහස් හුවමාරු කර ගැනීම සහ විකල්ප ගෙවීම් ක්‍රමවේදයන්හි වේගයෙන් වෙනස් වන සංවර්ධනයන් ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් සැපයුවේ ය. ඒ අනුව, වාණිජ බැංකුවල කළමනාකරුවන් සහ විධායක නිලධාරීන්, මුදල් කළමනාකරණ සමාගම් සහ ක්‍ෂේත්‍රයේ සැපයුම්කරුවන් සහ විශේෂඥයන්, මහ බැංකු 18ක නියෝජිතයන් අතුළු ව රටවල් 34ක 180කට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් විය.

සැප්තැම්බර් 24 වන දින ප්‍රධාන සම්මන්ත්‍රණය ආරම්භ වූ අතර, “කරන්සි රිසර්ච්” හි මෙහෙයුම් උප සභාපති ඩෑන් හැරිසන් මහතා විසින් ආරම්භක දේශනය පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් පිළිගැනීමේ දේශනය පවත්වන ලදී.

අප්‍රේල් 21 වන දින කොළඹ සහ විශේෂයෙන් ෂැන්ග්‍රි-ලා හෝටලයේ සිදු වූ කම්පන සහගත සිදුවීම්වලින් පසු ව, මෙම සම්මේලනයේ සාර්ථකත්වයට ඔවුන් ළඟා වූ ආකාරය ඩෑන් හැරිසන් මහතා විසින් සිහිපත් කරන ලදී. මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට ශ්‍රී ලංකාව සූදානම් බවට තමාට ලැබුණු පණිවිඩය ඉතා පැහැදිලි වූ අතර පැවති තත්ත්වය තක්සේරු කිරීම සඳහා සිදුවීමෙන් සති හතරකට පමණ පසු ඔහු හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණි බව හැරිසන් මහතා විසින් සඳහන් කරන ලදී. තමා ශ්‍රී ලංකාවේ යහපත් මිනිසුන් අත් නොහරින බවත්, ඒ සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් වෙනුවෙන් පෙනී සිටීමට තමා අධිෂ්ඨාන කර ගත් බව ඔහු විසින් පවසන ලදී. එය අභියෝගයක් වූ නමුත් සියල්ලන් ම සුදානම් වන බවට ඔහු විශ්වාස කළ අතර ශ්‍රී ලංකාව එයට සූදානම් වී තිබිණි. රජයේ ආයතන කිහිපයක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ අනෙකුත් දේශීය ආයතනවල නොමඳ සහයෝගය ඇතිව මෙම සම්මන්ත්‍රණය සඳහා විදේශ නියෝජිතයින් 120කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය සහිත ව විශාල සාර්ථකත්වයක් ලද බව එම මහතා විසින් වැඩිදුරටත් පවසන ලදී. දෙදින සම්මේලනයේ දී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා මෙන් හැරිසන් මහතා විසින් සියලු ම සහභාගීවන්නන්ට ආරාධනා කරන ලදී. 

මෙම අවස්ථාවට විදේශ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වීම, ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්‍ෂිත ස්ථානයක් බවට ලෝකයට ලබා දෙන සහතිකයක් බවත් එය සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය කිරීම සඳහා ධනාත්මක සංඥාවක් ලබා දෙන බවත් සඳහන් කරමින් ශ්‍රී මහ බැංකුවේ අධිපතිතුමා විසින් පැමිණ සිටි සියලු දෙනා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ශ්‍රී ලංකා ආර්ථිකයේ ධනාත්මක දැක්ම ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ වර්තමාන සාර්ව ආර්ථික රාමුව අධිපතිතුමා විසින් සඳහන් කරන ලදී. සම්මන්ත්‍රණයේ විෂය කරුණු පිළිබඳ ව අවධානය යොමු කරමින් අධිපතිතුමා ප්‍රකාශ කළේ, මහ බැංකුව විසින් නිකුත් කරන භෞතික මුදල් වෙනත් බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වැඩිපුර ම භාවිත වන ගෙවීම් ක්‍රමය වන අතර විකල්ප ගෙවීම් ක්‍රම භාවිත කිරීම රඳා පවතිනු ලබන්නේ විවිධ ගෙවීම් ක්‍රමවල සුලබතාව, නීතිමය රාමුව මගින් ලැබෙන සහයෝගය, ප්‍රතිපත්ති සහ නියාමන පද්ධතිය, අන්තර්ජාල හා විදුලි සංදේශ යටිතල පහසුකම් යනාදී අනෙකුත් සාධක මත බවයි. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාර්ගයෙන් සිදු කරන සිල්ලර ගෙවීම් සඳහා යටිතල පහසුකම් (Electronic Retail Payment Infrastructure) පරිණාමයේ ප්‍රධාන සන්ධිස්ථාන සහ ජංගම ගෙවීම් ඇතුළු මුදල් රහිත ගෙවීම් (Cash-less Payment) ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රධාන පියවර පිළිබඳ ව ඔහු කෙටියෙන් සඳහන් කළේ ය. තව ද, යටිතල පහසුකම් බිඳ වැටීම සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ විශ්වාසයට සෘජු ව ම බලපානු ඇති බැවින් භෞතික යටිතල පහසුකම්වල ඔරොත්තු දීමේ හැකියාව සහ ඩිජිටල් ගෙවීම් සඳහා සයිබර් ආරක්ෂාවේ (Cyber Security) වැදගත්කම ඔහු අවධාරණය කළේ ය.

මහ බැංකු නිලධාරීන්ගේ කමිටු සාකච්ඡා සහ දැනුම හුවමාරු කරගැනීමේ සැසි, මුදල් පිළිබඳ අන්තර්ජාතික හා දේශීය විශේෂඥයන්, ගෙවීම් හා ඊට අදාළ ක්‍ෂේත්‍ර විශේෂඥයන් සහ මුදල් තාක්‍ෂණ විශේෂඥයන් විසින් සිදු කරන ලද දින දෙකක ඉදිරිපත් කිරීම් මගින් මුදල් භාවිතයේ ප්‍රවණතා, මුදල් චක්‍රය සහ ඩිජිටල් ගෙවීම්, ඩිජිටල් මුදල්වල වර්ධනය, මුදල් මෙහෙයුම් පිරිවැය අඩු කිරීම, ඩිජිටල්කරණය සහ සයිබර් ඔරොත්තු දීමේ හැකියාව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ මුදල් කළමනාකරණ සමාගම්වල නියාමනය, මුදල් මධ්‍යස්ථාන ස්වයංක්‍රීයකරණය යනාදී මාතෘකා ආවරණය වන ලදී.

දෙදින තුළ මතු වූ ප්‍රධාන කරුණු වූයේ, කාර්යක්‍ෂම මුදල් චක්‍රයක් සඳහා කර්මාන්ත සහයෝගීතාව ඉතා වැදගත් වන අතර නියාමනය, බාහිර සේවා ලබා ගැනීම, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත ප්‍රමිතීන් යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව හා මුදල් ගෙවීමේ විකල්ප ක්‍රමයන්  වැඩි වීම තවදුරටත් ඉහළ යනු ලැබුව ද ලෝකයේ වඩාත් ම ජනප්‍රිය ගෙවීම් මෙවලම ලෙස මුදල් තවදුරටත් පවතිනු ඇති බවයි.

තව ද, සැප්තැම්බර් 23 වන දින පූර්ව සම්මන්ත්‍රණ වැඩමුළු දෙකක් පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආසියානු මුදල් කළමනාකරණ සංගමය (Asia Cash Management Association) විසින් සත්කාරකත්වය සපයන ලදී.

පිලිපීනයේ මහ බැංකුව (Bangko Sentral ng Pilipinas) හි සම සත්කාරකත්වය සහිත ව ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය - 2020, පිලිපීනයේ දී පැවැත්වෙන බව ඩෑන් හැරිසන් මහතා විසින් සම්මන්ත්‍රණය අවසානයේ දී නිවේදනය කළේ ය.

Published Date: 

Friday, October 4, 2019