ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නුවරඑළියට ප්‍රාදේශීය කාර්යාලයක්

ග්‍රාමීය ආර්ථික කටයුතුවලට පහසුකම් සැලසීම සහ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රාදේශීය ව කටයුතු කිරීම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් 2016 ජනවාරි මස 17 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නුවරඑළියේ ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කරන ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරිත්වයේ නිලධාරීන් මෙන් ම වාණිජ බැංකුවල සහ රජයේ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරනු ලබයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මධ්‍යම පළාත තුළ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි. එහි දී විශේෂයෙන් ම මධ්‍යම පළාතේ වැවිලි අංශයේ සේවක පිරිසට ඔවුන්ගේ අර්ථසාධක පාරිතෝෂිකයන් ගපා ගැනීමේ කටයුතු ඉතා පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙනු වස් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහ බැංකු ශාඛාවක් විවෘත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් විය. නුවරඑළිය දිස්ත්‍රික්කය මූලික වශයෙන් වැවිලි කර්මාන්තය වැඩි වශයෙන් සිදු කෙරෙන දිස්ත්‍රික්කයක් හෙයින් එහි අලුතෙන් මහ බැංකු ශාඛාවක් විවෘත කිරීම මගින් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල අර්ථ සාධක අරමුදල හා බැඳි සේවා කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරලීමට හැකි වන අතර මතු දැක්වෙන කටයුතු ද වඩාත් සඵලදායී ව කිරීමට අවකාශ ලැබෙනු ඇත. 

  1. සංවර්ධන කටයුතු සඳහා දෙනු ලබන ණය සම්බන්ධයෙන් මූල්‍ය ආයතනවලට උපදෙස් දීම සහ එම කටයුතු සම්බන්ධීකරණය කිරීම
  2. මහ බැංකුව විසින් හඳුන්වා දෙන ලද සහනදායී ණය ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ ඒවා පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම
  3. පළාත තුළ විධිමත් මූල්‍ය පහසුකම්වලට මහජනතාවට ඇති ප්‍රවේශ වර්ධනය කිරීම, මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සහ විශේෂයෙන් ම ගොවි ජනතාව, භාණ්ඩ වෙළෙඳුන් සහ අයෝජකයින් ඉලක්ක කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  4. දත්ත රැස් කිරීම, සමීක්ෂණ පැවැත්වීම සහ සම්බන්ධීකරණය කිරීම, අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම ආදී මහ බැංකුවට සම්බන්ධ කටයුතු සිදු කිරීම
  5. ණය උපදේශන පහසුකම් ලබා දීම

නුවරඑළියේ මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල ගණන 7 ක් වනු ඇත. අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල මාතර, අනුරාධපුරය, මාතලේ, ත්‍රිකුණාමලය, යාපනය සහ කිලිනොච්චිය යන නගරවල පිහිටුවා ඇත.

 

Published Date: 

Thursday, January 14, 2016