මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 ජනවාරි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b) පෙර මාසයේ වාර්තා වූ සියයට 17.0 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 17.2 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය විය. 2015 ඔක්තෝබර් මස 27 වැනි දින නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය තුළින් වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ලැබීම් හේතුවෙන් නොවැම්බර් මාසයේ දී බැංකු අංශයේ ශුද්ධ විදේශීය වත්කම් වර්ධනය විය. මෙම ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර නිකුතුව හේතුවෙන් 2015 නොවැම්බර් මාසයේ දී රජය විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණය අඩු වූ අතර රාජ්‍ය සංස්ථා විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයේ ද අඩු වීමක් දක්නට ලැබිණ. මේ අතර පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට තුඩු දෙන ප්‍රධාන සාධකයක් වන වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2015 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 26.3 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 27.0 ක් විය. එ මෙන් ම වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණයේ මාසික ඉහළ යෑම රුපියල් බිලියන 91.2 ක් වූ අතර 2015 පළමු මාස එකොළහ තුළ සමස්ත වැඩිවීම රුපියල් බිලියන 647.7 ක් විය. 

අධික ණය ප්‍රසාරණය තුළින් උද්ධමනය මත ඉල්ලුම් පීඩන ඇති වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 ජනවාරි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියළු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 දක්වා ප්‍රතිශතාංක 1.50 කින් ඉහළ නංවන ලදි. ඒ අනුව, 2015 දෙසැම්බර් මාසයේ දී සහ 2016 ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ රුපියල් බිලියන 90 කට ආසන්න සාමාන්‍ය අගයක පැවැති දේශීය මුදල් වෙළෙඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාව, ඉන්පසු ව රුපියල් බිලියන 42 ක සාමාන්‍යයක් දක්වා අඩු විය. වෙළෙඳපොළ පොලී අනුපාතික ඉහළ යෑමට ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීම හේතු වූ අතර කිසියම් කාල පමාවක් සහිත ව වුව ද ඉදිරි කාලය තුළ දී පෞද්ගලික අංශය වෙත ලබා දෙන ණය වර්ධනය පහළ යනු ඇතැ යි අපේක්ෂිත ය.

ඉහළ පුළුල් මුදල් වර්ධනයක් පැවැතිය ද, අඩු මට්ටමක පැවැති ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් සහ පුළුල් වශයෙන් හිතකර දේශීය සැපයුම් තත්ත්වයන් හේතුවෙන් උද්ධමනය පහළ අගයක පැවැතුණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 නොවැම්බර් මාසයේ පැවැති සියයට 3.1 සිට 2015 දෙසැම්බර් මාසයේ සියයට 2.8 දක්වා අඩු වූ අතර  මතුපිට උද්ධමනයේ වාර්ෂික සාමාන්‍යය සියයට 0.9 ක් විය.  ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පසුගිය මාසයේ පැවැති සියයට 4.8 සිට 2015 දෙසැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා අඩු වූ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත එය සියයට 3.8 ක අගයක් වාර්තා කළේ ය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පසුගිය මාසයේ පැවැති සියයට 4.3 හා සැසඳීමේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය 2015 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.  

විදේශීය අංශය සැලකූ විට, 2015 නොවැම්බර් මාසය තුළ දී අපනයන ආදායම් සියයට 9.3 කින් අඩු වීමේ බලපෑමත් සමඟ වසරේ පළමු මාස එකොළහ තුළ දී අපනයන ආදායම් සියයට 4.4 කින් අඩු විය. 2015 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම් ද සියයට 11 කින් අඩු වීමක් වාර්තා කළ අතර 2015 වසරේ පළමු මාස එකොළහ තුළ දී සමස්තයක් වශයෙන් ආනයන වියදම් අඩු වීම සියයට 2.1 ක්  විය. මෙම තත්ත්වය පිළිබිඹු කරමින් 2015 නොවැම්බර් මාසය තුළ දී වෙළෙඳ ගිණුමේ හිඟය අඛණ්ඩ ව පස්වන මාසයටත් අඩු වූ නමුත් වසරේ පළමු මාස එකොළහ තුළ දී වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,566 ක් දක්වා සියයට 1.0 කින් පුළුල් විය. 2015 වසර තුළ දී සංචාරක ඉපැයීම් සියයට 17.8 කින් වර්ධනය වී ඇතැ යි ඇස්තමේන්තු  ගත කර ඇති නමුත් මැද පෙරදිග රටවලින් ලැබෙන ආදායම් අඩු වීම පිළිබිඹු කරමින් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2015 වසර තුළ දී සියයට 0.5 කින් අඩු විය. 2015 වසර අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7.3 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. 2015 වසරේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව ශ්‍රී ලංකා රුපියල සියයට 9.0 කින් අවප්‍රමාණය වී ඇති අතර එය 2016 වසරේ මේ දක්වා කාලය තුළ දී සුළු වශ‍යෙන් අධි ප්‍රමාණය වී ඇත. 

2016 ජනවාරි මස 25 දින පැවැති රැස්වීමේ දී මුදල් හා විදේශීය අංශවලට අදාළ ව මෙතෙක් ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණවල බලපෑම ආර්ථිකය කරා ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR) 6.00%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 7.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

 

 

 

 

 

 

 

 

 

Published Date: 

Monday, January 25, 2016