මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 නොවැම්බර්

2015 අවසානයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය අපේක්ෂා කළ පරිදි 2016 සැප්තැම්බර් මාසයේ දී සැලකිය යුතු ලෙස අඩු විය. ඒ අනුව, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2016 අගෝස්තු මස වාර්තා වූ සියයට 27.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 25.6ක් ලෙස වාර්තා විය. පෞද්ගලික අංශය සඳහා ලබා දුන් ණය වර්ධනයේ අඩු වීමක් සිදු වුව ද, රාජ්‍ය අංශය විසින් වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම 2016 අගෝස්තු මස වාර්තා කරන ලද සියයට 17.3 හා සාපේක්ෂ ව 2016 සැප්තැම්බර් මාසයේ දී සියයට 18.4කින් ඉහළ ගියේ ය. මේ අතර, දේශීය මුදල් වෙළෙඳපොළ රුපියල් ද්‍රවශීලතාව නැවත සමතුලිත මට්ටමකට පත් වීම වෙළෙඳ පොළ පොලී අනුපාත දැනට පවතින මට්ටමේ ස්ථාවර ව පවත්වා ගැනීමට උපකාරී වනු ඇතැ යි අපේක්ෂිත ය. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් ව ගණනය කරනු ලබන මතුපිට උද්ධමනය 2016 ඔක්තෝබර් මාසය තුළ මැද තනි අගයන්හි ස්ථායී ව පැවැතුණි. තව ද, ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් ව ගණනය කරනු ලබන මූලික උද්ධමනය 2016 ඔක්තෝබර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂ ව නො වෙනස් ව පැවැතුණි. රජය විසින් බදු ව්‍යුහය තුළ සිදු කරන ලද සංශෝධන හේතු කොට ගෙන 2016 නොවැම්බර් මාසයේ සිට උද්ධමනයේ එක් වරක් පමණක් සිදු වන ඉහළ යෑමක් සිදු වනු ඇතැ යි අපේක්ෂා කරන අතර 2017 අයවැය මගින් උද්ධමනය මත ඇති වන සමස්ත බලපෑම හිතකර වනු ඇතැ යි ඇස්තමේන්තු කොට ඇත. කල් තියා ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය හේතුවෙන් සමාහාර ඉල්ලුමෙන් ඇති වන පීඩනය පාලනය වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ඉදිරි කාලය තුළ දී උද්ධමනය මැද තනි අගයන්හි පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

විදේශ අංශය සැලකූ විට, ආනයන වියදම අඩු වීම මධ්‍යයේ අඛණ්ඩ ව දෙවන මාසයටත් අපනයන ඉපැයීම්වල වාර්තා වූ ඉහළ යෑම හේතුවෙන් 2016 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී වෙළෙඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 12.0කින් අඩු විය. 2016 වසරේ පළමු මාස දහය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 14.6කින් පමණ ඉහළ ගොස් ඇතැ යි ඇස්තමේන්තු කර ඇති අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 3.5ක වර්ධනයක් වාර්තා කළේ ය. 2016 වසරේ ඔක්තෝබර් මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2016 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂ ව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකමේ ප්‍රථම සමාලෝචනය සාර්ථක ව සම්පූර්ණ කිරීමෙන් අනතුරු ව මෙම ණය පහසුකමේ දෙවන වාරිකය 2016 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තීර්ණ නය පහසුකම අඛණ්ඩ ව ලබා ගැනීම තුළින් ඉදිරි කාලයේ දී මැදි හා දිගුකාලීන මූල්‍ය ප්‍රවාහ සඳහා පහසුකම් සපයමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 නොවැම්බර් 28 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.  

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                             ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී 

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -            සියයට 7.00 

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -                   සියයට 8.50 

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                          සියයට 7.50

Published Date: 

Tuesday, November 29, 2016