ශ්‍රී ලංකා මහ බැංකුවේ නවවන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව කාලීන තේමා ඔස්සේ පර්යේෂණ කිරීම දිරිගැන්වීම අරමුණු කර ගත්ත ද මහ බැංකු, මුදල් අධිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ද සංසදයක් සකස් කරනු ලබයි. ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ලොව නන් දෙසින් විද්‍යාර්ථීන් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහි ප්‍රධාන දේශන පවත්වා ඇත. 

මෙම වසරේ සමුළුව ‘අභියෝගාත්මක ගෝලීය සහ දේශීය වාතාවරණයක් තුළ තිරසාර සංවර්ධනය සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති’ යන පුළුල් තේමාව යටතේ පවත්වනු ලැබී ය. මේ සඳහා විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, ප්‍රතිපත්ති සමිපාදක මණ්ඩල සහ පර්යේෂණ ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී විය.  

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පසුගිය දශක කිහිපය තුළ ඉන්දියානු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඉන්දියානු ජනරජයේ ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආචාර්ය මොන්ටෙක් සිං අළුවාලියා විසින් පැවැත් වී ය. විශ්වසනීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළින් වෙළෙඳපොළ අපේක්ෂිත දිශාව වෙත මෙහෙයවීම සඳහා මහ බැංකුවලට ඇති හැකියාවේ වැදගත්කම ආචාර්ය අළුවාලියා සිය ප්‍රධාන දේශනයේ දී අවධාරණය කළ අතර එහි දී ගුණාත්මක පර්යේෂණ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළේ ය. එ පමණක් නො ව, නිසි මුදල් ප්‍රතිපත්ති උපකරණ සහ රාජ්‍ය මූල්‍ය මෙවලම් භාවිත කරමින් ආර්ථිකයේ සමස්ත ඉල්ලුම පාලනය කිරීමට මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය අධිකාරිය මගින් ගනු ලබන සාමූහික ක්‍රියාමාර්ගයන්හි ඇති වැදගත්කම ද ඔහු පෙන්වා දෙන ලදි. ඒ අනුව, මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය අධිකාරියේ සාමූහික විශ්වසනීයත්වය මෙන් ම දේශපාලන ස්ථාවරත්වය රටක සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරන බව ඔහු සඳහන් කළේ ය. මේ අතර, සාර්ව ආර්ථික ආකෘති නිර්මාණය පිළිබඳ අදහස් දක්වමින් දියුණු වෙමින් පවතින රටවල ආයතනික සීමාවන් නිසි පරිදි විදහා දැක්වෙන ආකෘති නිර්මාණය සහ උචිත ආකෘති තෝරා ගැනීම සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සැකසීම සඳහා ආකෘති පදනම් කර ගත් ආර්ථික උපදෙස් ලබා දීමේ දී තීරණාත්මක සාධක වන බව ආචාර්ය අළුවාලියා සඳහන් කළේ ය. 

සමුළුවේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පවත්වන ලදි. තිරසාර සංවර්ධනය පිළිබඳ ව අදහස් දක්වමින්, සමාජ සංවර්ධනයට අතිරේක ව ධනය ඉපදවීම සහ ඵලදායී රැකියා නිර්මාණය විය යුතු අතර එහි දී ආර්ථික වර්ධනයේ ඇති ගුණාත්මක බව වැදගත් සාධකයක් බව ඔහු පැවසී ය. අධ්‍යාපනය, පුහුණුව සහ නිපුණතා සංවර්ධනය මගින් පුද්ගල බලගැන්වීම ප්‍රධාන කර ගත් සර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනය, සමාජ ආරක්ෂණ ජාල, පාරිසරික ස්ථිරසාරත්වය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ ප්‍රාදේශීය සමබරතාව තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව අධිපතිතුමා සඳහන් කළේ ය. තව ද, අභියෝගාත්මක ගෝලීය ආර්ථික වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් විචක්ෂණශීලී සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා ඉහළ ප්‍රමුඛතාවක් අනුයුක්ත කිරීමට අවශ්‍ය බව අධිපතිතුමා අවධාරණය කළේ ය. මේ යටතේ, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පැහැදිලි සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය ව පවතී. එ වැනි ප්‍රතිපත්ති රාමු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ක්‍රියාකාකම් පුරෝකථනය කිරීමට ඇති හැකියාව සහ එම ක්‍රියාකාරකම්වල නිශ්චිතභාවය වැඩිදියුණු කිරීමට හේතු වනු ඇති අතර එ මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට අවශ්‍ය අවකාශ ද නිර්මාණය කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශාන්ත තෝමස් විද්‍යාලයේ මූල්‍ය කටයුතු පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය ලලිත් සමරකෝන් විසින් ‘ශ්‍රී ලංකා මූල්‍ය වෙළෙඳපොළ සංවර්ධනය සඳහා සැලැස්මක්’ යන මැයෙන් සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලදිි. ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ සැලැස්මක් තුළ අන්තර්ගත කළ යුතු ප්‍රධාාන අංශ මහාචාර්ය සමරකෝන් විසින් පෙන්වා දෙනු ලැබූ අතර ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති හා යාන්ත්‍රණය, මූල්‍ය අංශය සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති හා යාන්ත්‍රණය සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති හා ඉහළ පෙළේ කැපවීම ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය සඳහා වන ජාතික වැඩසටහනක අත්‍යවශ්‍ය සාධක ත්‍රිත්වයක් ලෙස ඔහු විසින් හඳුන්වා දෙන ලදි. 

මෙම සමුළුවේ තාක්ෂණික සැසිවල දී මුදල් ප්‍රතිපත්තිය, සාර්ව ආර්ථික ගැටළු සහ මූල්‍ය අංශයේ ගැටළු පිළිබඳ ව ප්‍රංශය, ජර්මනිය හා ඉන්දියාව යන රටවල විවිධ ආයතන නියෝජනය කරමින් පැමිණි පර්යේෂකයන් මෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂකයන් විසින් තීව්‍ර ඇගයීමේ ක්‍රියාවලියක් තුළින් තෝරා ගනු ලැබූ පර්යේෂණ පත්‍රිකා අටක් ඉදිරිපත් කරන ලදි. පර්යේෂණවල විශිෂ්ඨත්වය ඇගැයීමට ලක් කරමින් හොඳම පර්යේෂණ පත්‍රිකාව සඳහා පිරිනමන ආචාර්ය ඩී එස් විජේසිංහ අනුස්මරණ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර්ය සුජීතා ජෙගජීවන් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ‘Understanding Sri Lankan Business Cycles through an Estimated DSGE Model’ යන පර්යේෂණ පත්‍රිකාව සඳහා හිමි විය. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මී ළඟ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2017 වසරේ අවසානයේ දී පැවැත්වීමට අපේක්ෂා කරයි. 

Published Date: 

Friday, December 9, 2016