ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා වෙයි

රටක සංචාරය අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන පුවත්පත් නිවේදනයන්හි එම නිලධාරීන්ගේ මූලික නිරීක්ෂණ ඇතුළත් වේ.  මෙම ප්‍රකාශනයේ ඇති අදහස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමේ මතය වන අතර එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ මතය අත්‍යවශ්‍යයෙන් පිළිබිඹු නො කරයි. දූත මණ්ඩලයේ මූලික නිරීක්ෂණ පදනම් කර ගෙන කළමනාකාරිත්වයේ අනුමැතියට යටත් ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් වාර්තාවක් පිළියෙළ කරන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡා කිරීමටත්, තීරණ ගැනීම සඳහාත් ඉදිරිපත් කෙරෙනු ඇත.

  • දේශීය ආදායම් පනත සම්මත කිරීම විශාල ජයග්‍රහණයක් වන අතර එය රජයේ සුභවාදී සමාජ හා සංවර්ධන වැඩසටහන් සඳහා සහාය වනු ඇත.
  • වර්ධනය හා උද්ධමනය මත ඍණාත්මක බලපෑමක් ඇති කරනු ලැබූ නියඟය සහ ගංවතුර සමඟ  සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළේ ය.
  • ආර්ථිකයෙහි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශුද්ධ විදේශීය සංචිත යළි ගොඩ නැංවීම තවදුරටත් සිදු කළ යුතු ය.

තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිත ව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික වැඩසටහනේ තෙවන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජේවූ ලී (Jaewoo Lee) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් 2017 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දින සිට 29 වැනි දින දක්වා කාලය තුළ කොළඹට පැමිණියේ ය. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා සහ සමාජීය හා සංවර්ධන වැඩසටහන සඳහා අවකාශය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ බලධාරීන්ගේ සුබවාදී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමයි. මෙම සංචාරය අවසානයේ දී ලී මහතා විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී:

“විස්තීර්ණ ණය පහසුකමේ තෙවන ආර්ථික කාර්යසාධන සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳ ව රජය සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දූත මණ්ඩලය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේ ය. ඔක්තෝබර් මාසයේ දී වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමී ව මේ පිළිබඳ ව තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.

“සමස්තයක් ලෙස සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය මිශ්‍ර තත්ත්වයක පැවැතුණි. 2016 අග භාගයේ සිට පවතින නියඟය සහ මේ වසර මුල දී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වර්ධනය මන්දගාමී වීම සහ උද්ධමනාත්මක පීඩන වර්ධනය වීම සිදු විය. 2017 වසර සඳහා ආර්ථික වර්ධනය සියයට 4.5 මට්ටමට වඩා අඩු වනු ඇති අතර, ඉදිරි වසරේ දී කෘෂිකාර්මික නිෂ්පාදනය යථා තත්ත්වයට පත් වීම සහ යටිතල පහසුකම් ව්‍යාපෘති වේගවත් වීම හේතුවෙන් ඉදිරි වසරේ දී වර්ධනය නැවතත් යථා තත්ත්වයට පත් වනු ඇතැ යි පුරෝකථනය කර ඇත. නියඟය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආහාර හා ඉන්ධන වැඩි වශයෙන් ආනයනය කිරීම තුළින් වසර තුළ දී ජංගම ගිණුමේ හිඟය යම් ප්‍රමාණයකින් පුළුල් වනු ඇතැ යි පුරෝකථනය කර ඇත. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ප්‍රගතිය හේතුවෙන් වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය වීමත් සමඟ ප්‍රාග්ධන ලැබීම් අඛණ්ඩ ව පැවතුණි. කාලගුණය සම්බන්ධ සැපයුම් අවහිරතා වියැකී යෑම නිසා මතුපිට උද්ධමනය මැදි තනි අගයක තහවුරු වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය සහිත ව ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා 2017 වසරේ ජුනි මාසය අවසන් වන විට  අදාළ සියලු කාර්යසාධන ඉලක්ක සපුරාලීමට සහ පාර්ලිමේන්තුව විසින් දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් දැරූ ඉහළ දායකත්වය දූත මණ්ඩලයේ පැසසුමට ලක් වේ. කෙ සේ වුවත්, විශේෂයෙන්ම රජය සතු ව්‍යවසායන්ට සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට අදාළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හා  සම්බන්ධ ප්‍රගතිය මිශ්‍ර ස්වභාවයක් ගෙන ඇත.

“ශක්තිමත් ආදායම් පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව පවත්වා ගැනීම ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය අඩු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.  2018 වසරේ අයවැය තුළින් ඉදිරිපත් කරනු ලබන සමාජීය සහ සංවර්ධන වියදම් මූල්‍යනය කිරීම සඳහා බදු පදනම තවදුරටත් පුළුල් කිරීම අවශ්‍ය වේ. මේ සඳහා නීති රෙගුලාසි සහ අත්පොත්, කාර්යක්ෂම බදු පරිපාලනය සහ මාධ්‍ය හා තොරතුරු ව්‍යාප්තිය හරහා බදු ගෙවන්නන්ගේ ඉහළ දැනුම්වත්භාවය සහ පෙර සූදානම යනාදී කරුණු පෙරදැරි කරගෙන දේශීය ආදායම් බදු පනත අපහසුවකින් තොර ව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු ය. ණය කළමනාකරණ ශක්‍යතාව ශක්තිමත් කිරීම සහ මධ්‍යකාලීන ණය උපායමාර්ග සංවර්ධනය කිරීම, ණය බර කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා ඉදිරියේ දී උපකාරී වනු ඇත.

“උද්ධමන පීඩන අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩ ව සුපරීක්ෂාකාරී ව සිටිය යුතු අතර, උද්ධමනය සහ ණය වර්ධනය සීමා කිරීමට අවශ්‍ය වේ නම් මුදල් ප්‍රතිපත්තිය  දැඩි කිරීමට සූදානම්ව සිටිය යුතු ය. මහ බැංකුව විසින් ක්‍රමානුකූල ව සිදු කරනු ලබන සංචිත නැවත ගොඩ නැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩ ව පවත්වා ගත යුතු වේ. මේ සම්බන්ධයෙන් නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ හා නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් පිළිබඳ වැඩපිළිවෙළක් සඳහා වන මහ බැංකුවේ කැපවීම දූත මණ්ඩලයේ ඇගයීමට ලක් වන අතර ඒ සඳහා මහ බැංකුවේ පාලනය සඳහා වන නීති රාමුව ශක්තිමත් කිරීම, වෙළඳපොළ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම හා සන්‍නිවේදනය වර්ධනය කිරීම කළ යුතු වේ.

“රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු වාණිජ ව්‍යවසායන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම ඉතා වැදගත් ප්‍රමුඛතාවක් වේ. රජය සතු වාණිජ ව්‍යවසායන්හි විශාල මූල්‍ය වගකීම් මගින් රාජ්‍ය මූල්‍ය අවදානම් පෙන්නුම් කරනු ලබන අතර එය කාර්යසාධන දර්ශක අධීක්ෂණය ඉහළ නැංවීම, රජය සතු වාණිජ ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කිරීම සහ ඉන්ධන හා විදුලිබල මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම තුළින් කළමනාකරණය කර ගත යුතු වේ. තරගකාරිත්වය වැඩි කිරීමට සහ පෞද්ගලික අංශය මුල් කරගත් වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක වන වර්ධනය වෙමින් පවතින වෙළඳ සහ ආයෝජන වටපිටාව සඳහා වූ පුළුල් පදනමකින් යුත් උපායමාර්ග ද දූත මණ්ඩලයේ පිළිගැනීමට ලක් වේ.” 

දූත මණ්ඩලය අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහ වෙළඳ ප්‍රජාව, සිවිල් සමාජ සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ නියෝජිතයන් ද  හමු විය.

 

 

Published Date: 

Friday, September 29, 2017