ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හා ටෝටල් පේ ආයතනය පිළිබඳ ව මාධ්‍ය මගින් පළ වූ තොරතුරු සහ ජාතික ගෙවීම් වේදිකාව සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා පොදු මහජනතාවට කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

2016.05.13 වැනි දින ICTA ආයතනය ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කළ විට එහි පද්ධති දියුණු කිරීම්, මෙහෙයුම් අත්පොත, පද්ධති සුරක්ෂිතභාවය, පද්ධති ප්‍රමිතීන් සම්බන්ධයෙන් අනුගත වීම් සහ බාහිර පද්ධති විගණන රාමුව පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ICTA ආයතනයෙන් ඉල්ලා සිටින ලදී. එහි අරමුණ වූයේ ජාතික ගෙවීම් වේදිකාවේ ශක්‍යතාව පිළිබඳ තීරණය අදාළ ආයතනයට දැනුම් දීම සඳහා ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ තවදුරටත් දැනුම්වත් වීමයි.  කෙ සේ වුවද, මෙම කරුණු සම්බන්ධයෙන් මේ දක්වා ICTA ආයතනයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නො මැත. ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු හා තොරතුරුවල ආරක්ෂාව මත බලපෑමක් ඇති කිරීමට අවධානයට ලක් වූ කරුණුවලට හැකියාවක් ඇති අතර ඒ පිළිබඳ ව ICTA ආයතනයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නො ලැබීම හේතුවෙන්, ජාතික ගෙවීම් වේදිකාවේ ශක්‍යතාව පිළිබඳ ව අදහස් දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් නො මැත.

ජාතික ගෙවීම් වේදිකාව හෝ වෙනත් එ වැනි ගෙවීම් වේදිකාවක් රටක මූල්‍ය ස්ථායීතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බැවින් ලෝකයේ අනෙකුත් රටවල ‍සිදු වන පරිදි එය නියාමනය කිරීමට අවශ්‍ය බව පැහැදිලි කළ යුතු ය. පොදු මහජනතාව විසින් සිදු කරනු ලබන ගෙවීම් සහ පියවීම් සුරක්ෂිත කිරීමට සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගෙන යෑමට අවශ්‍ය වන ආරක්ෂිත ක්‍රියාමාර්ග මෙම වේදිකාව තුළ සහ ඒ හා සම්බන්ධ පද්ධති තුළ ඇතුළත් ව ඇති බව සහතික කිරීම සඳහා නියාමකගේ භූමිකාව වැදගත් වේ.

එ සේ ම ජාතික ගෙවීම් වේදිකාව යනු ගෙවීම් කිරීමට කරනු ලබන අයදුමක් ඇතුළත් විය හැකි පණිවුඩ යැවීම සඳහා වූ මූලික වේදිකාවක් බව ද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කොට කර ඇත.  කෙ සේ වුව ද, ගෙවීම් පණිවුඩ සේවාව වැනි සේවා ද ගෙවීම් ගනුදෙනු විෂය පථයට අයත් වන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් විය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. තව ද, ගෙවීම් සහ පියවීම් පද්ධතිවල එකතුවකින් ජාතික ගෙවීම් වේදිකාව සෑදී ඇති නිසා එය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට නිසැක ව ම භාජනය විය යුතු ය.         

රටේ ගෙවීම් පද්ධති තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී සිටී. එයට ආර්ථිකයේ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමට කිසිදු අදහසක් නැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රාමුව යටතේ, 2003 දී තත්කාලීන දළ පියවීම් පද්ධතිය කලාපීය රටවල් අතරින් ක්‍රියාත්මක කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වූ අතර එය අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී.  මෑත කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දායකත්වය ඇතිව ගෙවීම් ක්ෂේත්‍රයේ සිදු කරන ලද වැඩිදියුණු කිරීම් කිහිපයක් පහත දැක්වේ.

2004 වසර - ලංකාසෙක්‍යු - රජයේ සුරැකුම් හා මහ බැංකු සුරැකුම් පියවීම් සහ අයිතිය පිළිබඳ වාර්තා තබා ගැනීම සඳහා පහසුකම් සපයන නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතිය හා සුරැකුම් තැන්පතු පද්ධතිය යන පද්ධතීන්ගෙන් සමන්විත පද්ධතිය

2006 වසර - මුළු රටම ආවරණය වන පරිදි, එක් දිනයක දී (T + 1) චෙක්පත් නිෂ්කාශනය - දකුණු ආසියාවේ ප්‍රථම රට/ලෝකයේ දෙවන රට - සතියකටත් වඩා වැඩි කාලයක් ගත වූ චෙත්පත් කිෂ්කාශනය එක් ව්‍යාපාරික දිනකට සීමා වීම සහ වර්තමානයේ මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 10 ක් ඉක්මවූ මිලියන 52 ක පමණ වන චෙක්පත් සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම

2009 වසර - ලංකා සයින් හඳුන්වා දීම - විද්‍යුත් වාණිජමය ගනුදෙනු සහතික කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ එකම අධිකාරිය - වර්තමානයේ සියලු ම වාණිජ බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතන, වාණිජ මණ්ඩල, කොළඹ කොටස් වෙළඳපොළ මෙ ‍මගින් ඩිජිටල් සහතිකකරණ ලබා ගෙන ඇත.

2010 වසර - දිවයින පුරා එදිනම විද්‍යුත් ගනුදෙනු සිදු කළ හැකි ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS) ආරම්භ කිරීම - මෙය දකුණු ආසියාවේ ප්‍රථම වතාවට සිදු කරන ලදී.  මේ වන විට වසරකට මිලියන 26කට වඩා වැඩි අන්තර් බැංකු ගනුදෙනු ප්‍රමාණයක් මේ හරහා සිදු වන අතර ඒවායේ වටිනාකම රුපියල් ට්‍රිලියන 1.6 කට වඩා අධික වේ.

2013 වසර - ලංකාපේ (LankaPay) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය  දියත් කිරීම - මෙම පද්ධතිය මගින් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල 4,000 ක් පමණ වූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මෙම පද්ධතියට මේ වන විට සම්බන්ධ වී ඇති අතර එය රටෙහි මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් 99.5% ක් වන අතර වසරකට රුපියල් බිලියන 214 ක වටිනාකමක් සහිත ගනුදෙනු මිලියන 38 කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබයි.

(6)2014 වසර - බැංකු පරිගනක ආරක්ෂණ සිද්ධි ප්‍රතිචාර කණ්ඩායම (BankCSIRT)  හඳුන්වාදීම. දකුණු ආසියාවේ ප්‍රථම වතාවට,  මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායීතාව සුරක්ෂිත කිරීමට පිහිටුවන ලද මෙය, 2015 වසරේදී පරිගනක ආරක්ෂණ සිද්ධි ප්‍රතිචාර කණ්ඩායම (FinCSIRT)  ලෙස නම් කරන ලදි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් යුතු නියාමන කමිටුවක් යටතේ කටයුතු කරන අතර, එයට ශ්‍රී ලංකා පරිගනක හදිසි අවස්ථා සූදානම් කණ්ඩායම  (SLCERT), ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (SLBA) සහ ඔවුන් යෝජනා කරන ලද බැංකු හා ලංකාක්ලියර් ආයතනයේ නියෝජිතයන් මෙහි සාමාජිකයන් වේ.

(7)2015 වසර - විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රණය  (CEFTS) ආරම්භ කිරීම - මේ වන විට මිලියන 1.7 කට වඩා අධික ගනුදෙනු ප්‍රමාණයක්  මේ මගින් සිදුවන අතර එහි වටිනාකම රුපියල් බිලියන 135 කට අධික වේ.

(8)2015 වසර - විකුණුම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය (Common POS Switch) - මෙම පද්ධතියේ කටයුතු දැනට අවසන් වී ඇති අතර 2017 අග භාගයේදී බැංකුවලට මෙම පද්ධතියට සම්බන්ධ වීමට හැකි වේ.  තවද, 2018 වසර ආරම්භයේදී මෙම පද්ධතිය භාවිතා කර කාඩ්පත් ගනුදෙනු අඩු පිරිවැයකින් යුතු සිදු කළ හැකි වේ.

(9)2015 වසර - ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (Common Mobile Switch) - සියලුම බැංකු සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන් මෙම යාන්ත්‍රණයට සම්බන්ධ කර ගැනීමට සූදානම් කර ඇති අතර, ඔවුන් ඒ සඳහා කටයුතු කරමින් සිටී. 

(10)2015 වසර - එක්සත් ජනපද ඩොලර් ගනුදෙනු සඳහා මංගත ක්‍රමයක් ආරම්භ කිරීම - දේශීය බැංකු සඳහා නොස්ට්‍රො (NOSTRO) ගිණුම් භාවිතයකින් තොරව, දේශීය අන්තර් බැංකු ඩොලර් ගෙවීම්, අඩු පිරිවැයකට සිදු කර ගැනීම මෙමගින් කළ හැක.

(11)2016 වසර - ජස්ට්පේ (JustPay) හඳුන්වාදීම - මෙම පද්ධතිය භාවිතයෙන් ගනුදෙනුකරුවන්ට අඩු ගාස්තු සහිත විශේෂ ක්‍රමයක් යටතේ ජංගම දුරකථන සහ වෙනත් එවැනි උපකරණ භාවිතා කර තම බැංකු ගිණුමෙන් සුළු පරිමාණ ගනුදෙනු සිදු කිරීමට පහසුකම් සලසා ඇත. මෙමගින් සියලු මූල්‍ය තාක්ෂණ මෙහෙයුම්කරුවන් (FinTech Operators) බැංකු පද්ධතිය තුළට සම්බන්ධ කරනු ඇත.

(12)2016 වසර - චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන ක්‍රමය වැඩිදියුණු කිරීම - මෙම වැඩිදියුණු කිරීමත් සමඟ චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන ක්‍රියාවලියේදී බැංකුවලට තම චෙක්පත් පිළිබිඹු තත්කාලීනව, මංගත ආකාරයෙන් නිෂ්කාශන සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇති අතර, මෙය දකුණු ආසියාවේ ප්‍රථම වතාවට සිදු කරන ලදී. 

(13)2017 වසර - අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් ආරම්භ කිරීම - රේගු ගාස්තු මංගතව ගෙවීම සඳහා පහසුකම් සැලසීමට නිර්මාණය කරන ලද මෙම පද්ධතිය මගින් නුදුරු අනාගතයේ දී වෙනත් රාජ්‍ය ආයතනවල සේවා සඳහා ගෙවීම් ද සිදු කිරීමට හැකි වනු ඇත.

(14)2017 වසර - ජාතික කාඩ්පත් ක්‍රමය දියත් කිරීම - මෙම ක්‍රමය යටතේ හර කාඩ්පත් ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා ජේසීබී ජාත්‍යන්තර කාඩ්පත් සංගමය හා එක්ව කටයුතු කිරීම ආරම්භ කර ඇත.

මූල්‍ය පද්ධති සහ පොදු තොරතුරු ආරක්ෂණය සහ ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් විද්‍යුත් ගෙවීම් පද්ධති ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පරිශ්‍රම දරයි.  තවද, ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන්ම ප්‍රගතීන් අධීක්ෂණය කරන අතර නව තාක්ෂණික සොයාගැනීම් අඛණ්ඩව පවත්වාගෙන යෑමට උත්සාහ දරයි. 1949 අංක 58 දරන මුදල් නීති පනතින් සහ 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනතින් ජාතික ගෙවීම් වේදිකාවෙහි නියාමන ආවරණය සිදු කළ යුතු බව මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දීමට අපේක්ෂා කෙරේ.  ඊට අමතරව, නිරන්තරයෙන් සිදුවන තාක්ෂණික වෙනස්කම්වලට ගැළපෙන පරිදි දෛනිකව නීති රීති වෙනස් නොවන බව ප්‍රකට කරුණකි.  කෙසේ වුවද, එම නිතිමය තත්ත්වයන් මහජනතාවගේ රුචිකත්වයන් ආරක්ෂණය සඳහා මෙන්ම වර්තමාන සහ අනාගත තාක්ෂණික අභිවෘද්ධීන් ආවරණය කිරීම සඳහා නිර්මාණය කර ඇත.  නියාමන අභිමතාර්ථය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම පිණිස මෙන්ම ගෙවීම් පද්ධතිවල සුරක්ෂිතභාවය, නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ගෙවීම් පද්ධති හා බැඳී ඇති අවදානම් පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.

විද්‍යුත් ගෙවීම් ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම සඳහා නව සොයාගැනීම් දිරිමත් කිරීම අතිශය වැදගත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ විශ්වාස කරයි.  කෙසේ වුවත් රටක එහි දිගු කාලීන තිරසාර සංවර්ධනය සඳහා සුරක්ෂිත, කාර්යක්ෂම සහ ඵලදායී ගෙවීම් පද්ධතියක් පවත්වා ගැනීම හා එවැන්නක් ඇති කිරීම සඳහා පවතින රෙගුලාසිවලට අනුගත වීම ද වැදගත් වේ.  ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව නිරන්තරයෙන්ම, ස්ථායී මූල්‍ය පද්ධතියක් හරහා රටෙහි ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා ගෙවීම් පද්ධතියෙහි විශ්වසනීයභාවය පවත්වා ගෙන යෑමට කටයුතු කරනු ලබයි. 

 

Published Date: 

Tuesday, August 15, 2017