මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 5

දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු මස 2 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

ඉහත තීරණය ගැනීමෙහි ලා පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය මෙන් ම මැදකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබී ය. 

2017 ජූලි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ලෝක ආර්ථික ඉදිරි දැක්ම' (World Economic Outlook) ප්‍රකාශනයෙහි නවතම නිකුතුවට අනුව ගෝලීය ආර්ථික වර්ධනය ක්‍රමයෙන් ශක්තිමත් වන බව පෙනී යයි. 2017 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකයෙහි අඩු වර්ධනයක් දක්නට ලැබුණ ද, ඉදිරි කාර්තු තුළ දී ආර්ථිකය මධ්‍යස්ථ ලෙස යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය වීම සහ කර්මාන්ත හා සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යහපත් ක්‍රියාකාරිත්වය මෙන් ම ජී එස් පී ප්ලස් (GSP+) සහනය නැවත ලබා ගැනීම ආර්ථික වර්ධනය සඳහා දායක වනු ඇතැ යි අපේක්ෂිත ය. 

ප්‍රධාන වශයෙන් ගංවතුර හේතු කොට ගෙන 2017 මැයි මාසයේ දී සැපයුම් අංශයෙහි ඇති වූ අවහිරතා මධ්‍යයේ වුව ද කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය (2013 = 100) මත පදනම් ව මනිනු ලබන මතුපිට උද්ධමනය මෑත මාසවල දී වැඩි වේගයකින් මන්දගාමී විය. මෙම කාල පරිච්ඡේදය තුළ දී මූලික උද්ධමනය ද ඒ හා සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. 2015 වසර අවසානයේ සිට ක්‍රියාත්මක වූ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ උද්ධමනය මත බදු ව්‍යුහයේ එක් වරක් පමණක් සිදු වූ බලපෑම පහ ව යෑම හේතුවෙන් 2017 වසර අවසානය වන විට උද්ධමනය තවදුරටත් මන්දගාමී වනු ඇතැ යි ද ඉන් පසු කාලය තුළ ස්ථාවර ව පවතිනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ. 

එ සේ වුවත්, මුදල් ප්‍රසාරණය 2017 මැයි මාසයේ මෙන් ම ජූනි මාසයේ දී ද අඛණ්ඩ ව ඉහළ අගයක පැවැතුණි. මුදල් වර්ධනය ප්‍රධාන වශයෙන් ම දේශීය ණය ප්‍රසාරණය මත පදනම් වූ අතර බැංකු පද්ධතිය සතු ශුද්ධ විදේශීය වත්කම් ද මෙම ප්‍රසාරණය සඳහා හේතු විය. මේ අතර 2016 වසර තුළ දී සහ 2017 මුල් භාගයේ දී ඉහළ මට්ටමක පැවැති පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය මෑත කාලීන ව අඩු වේගයකින් වුව ද, පැහැදිලි ලෙස මන්දගාමී වීමක් පෙන්නුම් කළේ ය. වෙළෙඳපොළෙහි පවතින ඉහළ නාමික සහ මූර්ත ණය පොලී අනුපාතික හේතුවෙන් මුදල් සහ ණය සමස්ත වර්ධනය වසරේ ඉතිරි කාල සීමාව තුළ දී තවදුරටත් මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ ඵලදා අනුපාතිකවල මෑත කාලීන ව සිදු වූ පහළ යෑම ඉදිරි කාලයේ දී අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතික වෙත ද ක්‍රමික ව සම්ප්‍රේෂණය වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

විදේශීය අංශය සැලකූ විට, කෘෂිකාර්මික අපනයන වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු කොට ගෙන අපනයන ක්‍රියාකාරකම් අඛණ්ඩ ව වැඩි දියුණු විය. කෙ සේ නමුත්. ආනයන වියදම් අඛණ්ඩ ව ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස සමුච්චිත වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය. 2017 ජූනි මාසයේ දී සංචාරක පැමිණීම් සහ සංචාරක ඉපැයීම් මන්දගාමී වේගයකින් වර්ධනය වූ අතර මැද පෙරදිග කලාපයේ පවතින ආර්ථික හා භූ-දේශපාලනික අර්බුද හේතුවෙන් 2017 වසරේ පළමු භාගය තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ව අඩු විය. එ සේ වුව ද, රාජ්‍ය සුරැකුම්පත් සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ඇතුළු ව ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත 2017 මාර්තු මාසයේ සිට සැලකිය යුතු ලෙස ශුද්ධ විදේශීය ලැබීම් දක්නට ලැබිණි. මේ අතර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක වටිනාකමින් යුතු තුන් වැනි වාරිකය ලැබිණි. මෙම ප්‍රවණතා පිළිබිඹු කරමින් 2017 ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.7ක් ලෙස පැවැතුණි. වැඩිදියුණු වූ ආයෝජන විශ්වාසය සහ අපේක්ෂිත සෘජු ආයෝජන ලැබීම් මගින් විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. මේ අතර, 2017 ජූලි මාසය අවසාන වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත. 

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -      සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -             සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                    සියයට 7.50

මී ළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2017 සැප්තැම්බර් මස 26 වැනි දින නිකුත් කිරීමට නියමිත ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, August 3, 2017