මුදල් ප්‍රතිපත්ති විවරණය - 2017 අංක 4

පවතින සහ වෙනස් වන දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වාතාවරණය සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 ජූනි මස 22 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් මණ්ඩලයෙහි මෙම තීරණය මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමත් එ මගින් තිරසාර වර්ධන මාවතකට පහසුකම් සැලසීමත් යන අරමුණ හා අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ පසුබිම පහත පරිදි වේ. 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව 2017 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3.8කින් වර්ධනය විය. අහිතකර කාලගුණික තත්ත්වය මත විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම් කෙරෙහි වූ අහිතකර බලපෑම හේතුවෙන් පළමු කාර්තුව තුළ දී ආර්ථික වර්ධනය මන්දගාමී විය. ඉදිකිරීම් අංශයේ අඛණ්ඩ වර්ධනය හේතුවෙන් කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ අතර සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් මන්දගාමී වර්ධනයක් වාර්තා කළේ ය. වසරේ දෙ වන භාගය තුළ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ.

2017 වසරේ පළමු කාර්තුව තුළ දී ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් සහ මැයි මාස තුළ දී අපේක්ෂා කරන ලද පරිදි මන්දගාමී විය. මූලික උද්ධමනය ද ඊට සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. බදු සංශෝධනවල පදනම් බලපෑම සහ කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයෙහි ඇති වූ අවහිරතාවල බලපෑම ඉදිරි කාල පරිච්ඡේදය තුළ දී පහ ව යනු ඇතැ යි අපේක්ෂා කෙරෙන හෙයින් 2017 වසර අවසානය වන විට උද්ධමනය මැදි-තනි අගයක මට්ටම දක්වා ක්‍රමානුකූල ව අඩු වී ඉන් පසු ව ස්ථාවර වනු ඇතැ යි පුරෝකථනය කෙරේ. 

ප්‍රධාන වශයෙන්, බැංකු අංශය වෙතින් පෞද්ගලික සහ රාජ්‍ය යන දෙ අංශය ම වෙත සපයන ලද දේශීය ණය ඉහළ යෑම හේතු කොට ගෙන 2017 වසරේ අප්‍රේල් මාසයේ අවසානය වන විට මුදල් ප්‍රසාරණය ඉහළ මට්ටමක පැවතිණ. පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය අඛණ්ඩ ව ක්‍රමානුකූල ව මන්දගාමී විය. වෙළෙඳපොළෙහි ඉහළ නාමික සහ මූර්ත ණය පොලී අනුපාතික පවතින හෙයින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය තවදුරටත් මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. ප්‍රධාන රජය සතු ව්‍යවසායයන්හි මූල්‍ය කාර්ය සාධනයට අදාළ ගැටළු විසඳීමෙහි අවශ්‍යතාව පිළිබිඹු කරමින් රජය සතු ව්‍යවසාය මගින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයෙහි මෑත කාලීන ඉහළ යෑම හේතුවෙන් සමස්ත දේශී්‍ය ණය හැසිරීම කෙරෙහි අවදානමක් ඇති කොට තිබේ. මේ අතර, 2017 අප්‍රේල් මාසය තුළ දී රජය විසින් ලබා ගන්නා ලද ශුද්ධ ණය ප්‍රමාණයෙහි අඩු වීමක් දක්නට ලැබුණි. අඛණ්ඩ ව ක්‍රියාත්මක වන ආදායම් පදනම් කර ගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සහ විදේශ ණය ගැනීම් තුළින් රජය වෙත ලැබුණු අරමුදල් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ පොලී අනුපාතික මත ඇති පීඩනය සැලකිය යුතු ලෙස අවම කිරීමට හේතු වී ඇත. 

2017 මාර්තු සහ අප්‍රේල් මාසවල දී අපනයන ක්‍රියාකාරකම් වැඩිදියුණු වීම හමුවේ වුව ද ආනයන වියදම් ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ හිඟය පුළුල් වී ඇත. වසරේ පළමු මාස පහ තුළ සංචාරක කර්මාන්තය ආශ්‍රිත විදේශීය ලැබීම් ඉහළ ගිය අතර 2017 මැයි මාසයේ දී වාර්තා වූ සංචාරක පැමිණීම් අඩු වීම තාවකාලික තත්ත්වයක් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 2017 වසරේ පළමු මාස හතර තුළ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වීමක් වාර්තා වූ අතර මැද පෙරදිග කලාපයේ පවතින භූ-දේශපාලනික අර්බුද තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලයේ දී එ වැනි විදේශ විනිමය ලැබීම් මත අහිතකර බලපෑම් එල්ල විය හැකි ය. 2017 මාර්තු මාසයේ සිට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ශුද්ධ විදේශ ලැබීම් දක්නට ලැබුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා වූ ලැබීම් ද ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව 2017 මාර්තු මාසයේ සිට දේශීය වෙළෙඳපොළ තුළින් විදේශ විනිමය අඛණ්ඩ ව අවශෝෂණය කර ගන්නා ලදී. මෙම ප්‍රවණතා සහ සාර්ථක ව සිදු කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මෙන් ම රජය වෙත ලද ඒකාබද්ධ ණය ලැබීම් හේතුවෙන් 2017 ජූනි මස මැද වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.0 ඉක්මවා වර්ධනය විය. මේ අතර, 2017 වසරේ ජූනි මස 21 වැනි දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇත. 

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය. 

මුදල් ප්‍රතිපත්ති තීරණය -                                       ප්‍රතිපත්ති පොලී අනුපාතික නො වෙනස් ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) -      සියයට 7.25

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) -             සියයට 8.75

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) -                    සියයට 7.50

මී ළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2017 අගෝස්තු මස 03 වැනි දින නිකුත් කිරීමට නියමිත ය. 

 

 

Published Date: 

Friday, June 23, 2017