විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 සැප්තැම්බර්

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සුළු වශයෙන් ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 සැප්තැම්බර් මාසයේදී වැඩිවීමක් වාර්තා කර ඇත. 2022 සැප්තැම්බර් මාසයේදී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි කැපී පෙනෙන ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 362ක මට්ටමක පැවතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, November 4, 2022