ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය - ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ තෙවන මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දැරීය

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය එ්කාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. මෙම වසරේ තේමාව පෙර වසරේ මෙන්ම 'සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු' (‘Emerging Issues for Macroeconomic Stability’) ලෙස දැක්විණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින්, ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 වසංගතය සහ භූ-දේශපාලනික අර්බුද හේතුවෙන් ලොව පුරා බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් සහ ඊට අනුරූපීව බොහෝ මහ බැංකු සිය ආර්ථිකයන් ස්ථායී කිරීමට ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳ විස්තර කළේය. විවිධ මට්ටම් වල පවතින සාර්ව ආර්ථික හැකියාවන් මධ්‍යයේ, එක් අතකින් ආර්ථික වර්ධනයට සහාය වීම සහ අනෙක් අතින් සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම අතර තුලනයක් ඇති කිරීමේ දී, දියුණු සහ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් ද්විත්වයම එකසේ මුහුණ දෙන ආතතිය පිළිබඳ ඔහු අවධාරණය කළේය. ගෝලීය ආර්ථික වාතාවරණය තුළ පවතින ඉහළ අස්ථාවරත්වය මධ්‍යයේ ආර්ථිකයන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳීම සඳහා විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර පර්යේෂණ සහයෝගීතා ඇති කර ගැනීමේ වැදගත්කම ද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආකාරයේ අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ සෛද්ධාන්තික ශාස්ත්‍රීය පර්යේෂණවලදී ඉදිරිපත් කරන ලද ඇතැම් ආකෘතින් සහ න්‍යායන් සම්බන්ධ සොයා ගැනීම්වල අදාළත්වය සහ වලංගුභාවය තරමක් දුරට සීමා විය හැකි නමුත්, නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්හි වර්ධනයන් අධ්‍යයනය කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ කිරීම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් බව අධිපතිතුමා අවධාරණය කළේය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙට්සුෂි සොනොබෙ මහතා උද්ධමන පීඩනවලට නිරාවරණය වීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පවතින අවකාශයන් සහ සාර්ව-මූලධර්මවල ශක්තිමත්භාවය අනුව විවිධ කලාප අතර පවතින විෂමතා දක්වමින් ආරම්භක අදහස් දැක්වීම සිදු කළේය. මෙවැනි ආකාරයේ වැඩමුළු මගින් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් ඇති කිරීමට සහ ප්‍රතිපත්ති පර්යේෂණ තවදුරටත් දියුණු කිරීමට සහාය වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Tuesday, September 27, 2022