ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2ක් වශයෙන් වාර්තා විය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 82.5හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 84.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ජූලි මාසයේ පැවති සියයට 52.4හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 57.1 දක්වා ඉහළ ගියේය.

2022 අගෝස්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.45ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 0.91කින් සහ සියයට 1.53කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩය තුළ, නැවුම් මත්ස්‍ය, බිත්තර, බිස්කට්, සහ පලතුරු මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද, පරිප්පු, සහල්, සහ සීනි මිල ගණන් වල පහළ යෑමක් මෙම මාසය තුළ දී වාර්තා විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය තුළ 2022 අගෝස්තු මාසයේ දී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලිය, නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ භූමිතෙල්), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව (සබන්), හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි  අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු) උප කාණ්ඩයේ සැලකිය යුතු පහළ යාමක් මෙම මාසය තුළ වාර්තා විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, September 21, 2022