වත්මන් විනිමය අනුපාතික සැකැස්ම: පසුබිම, මේ දක්වා ඇතිවූ ධනාත්මක බලපෑම සහ අපේක්ෂිත ප්‍රතිඵල

මෙම සටහන මඟින් මහජනතාවට වත්මන් විනිමය අනුපාතික සැකැස්මේ පසුබිම, මේ වනවිටත් එමඟින් සිදු වී ඇති ධනාත්මක බලපෑම සහ ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කිරීමට අදහස් කෙරේ.

මේ වන විට රට අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින අතර ඉතිහාසයේ දරුණුතම ගෙවුම් තුලන අර්බුදයද අත්විදිමින් සිටී. දේශීය විදේශ විනිමය වෙළදපොළෙහි ද්‍රවශීලතාවය අඩු වීම හමුවේ විනිමය අනුපාතිකය වෙත වූ දැඩි අවප්‍රමාණය වීමේ පීඩනය හේතුවෙන්, විනිමය අනුපාතිකයෙහි විශාල අවප්‍රමාණය වීම මඟින් සමාජයට ඇතිවන අහිතකර බලපෑම් සම්බන්ධව අවධානය යොමුවීම මධ්‍යයේ, වෙළදපොළෙහි පැවති විනිමය අනුපාතිකයන් සමඟ සැසදීමේ දී, 2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකයෙහි ක්‍රමානුකූල ගැලපීමක් සදහා ඉඩ හරින ලදී. කෙසේ වෙතත්, දේශීය විදේශ විනිමය වෙළදපොළ තුළ පැවති ද්‍රවශීලතා පීඩන මෙන්ම වෙළදපොළ පාදක නිවැරදි කිරීමේ ප්‍රමාදය පිළිබිඹු කරමින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවය සඳහා නිසි ගැලපීමක් සැලසීමෙන් පසුව, මුල් අවස්ථාවේදීම වෙළදපොළ බලවේග හමුවේ විනිමය අනුපාතිකය නිසි මට්ටම ඉක්මවා විශාල ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට යම් බාධාවක් ඇති විය. 2022 වසරේ මාර්තු මාසයේ දී වැඩි නම්‍යශීලී බවක් ලබා දීමෙන් පසුව, ඇතිවූ විනිමය අනුපාතිකයෙහි මෙම හැසිරීම මඟින් පිළිබිඹු කරනුයේ ගෙවුම් තුලනයේ අර්බුදකාරී තත්ත්වයන් යටතේ එහි නම්‍යශීලීභාවයට ඉඩ දීමේදී ප්‍රවේශම්කාරීව ක්‍රියාමාර්ග පෙළ ගැස්වීමේ අවශ්‍යතාවයයි.

අධික ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව, ආනයනික මිල ගණන් හරහා උද්ධමනය සැලකිය යුතු ලෙස වේගවත් වූ අතර, අනෙකුත් භාණ්ඩ හා සේවා මතද එවැනි අධික ලෙස අවප්‍රමාණය වීමේ දෙවන වටයේ බලපෑම් පසුව නිරීක්ෂණය විය. තවද, දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පවතින උග්‍ර විදේශ විනිමය හිඟය මෙන්ම, විනිමය අනුපාතිකයේ අඛණ්ඩ අවප්‍රමාණයවීම සමඟ, විනිමය අනුපාතිකය තවදුරටත් අවප්‍රමාණයවනු ඇතැයි ද, අවිධිමත් වෙළඳපොළ තුළ විනිමය අනුපාතිකය සඳහා අධි මිළක් ලැබෙනු ඇතැයි ද වන අපේක්ෂාවන් හමුවේ විදේශ විනිමය හිමියන් විසින් විදේශ විනිමය පරිවර්තනය කිරීම් ප්‍රමාද වූ අතර, එමඟින් විනිමය අනුපාතිකය මත තවදුරටත් අඛණ්ඩ පීඩනයක් ඇති විය. මේ අතර, අවිධිමත් වෙළඳපොළේ විදේශ විනිමය සඳහා ඇති අධික ඉල්ලුම බැංකු පද්ධතියෙන් පිටත ඉහළ යන ආනයන ඉල්ලුම අර්ධ මූල්‍යකරණය කිරීමට යොදා ගැනීම විනිමය අනුපාතිකය මත තවදුරටත් පීඩනය ඇති කිරීමට හේතු වී ඇති අතර එය බැංකු පද්ධතිය මත ඇති පීඩනය ඉහළ යෑමට ද හේතු වී ඇත. විනිමය අනුපාතිකවල මෙම සැලකිය යුතු අස්ථාවරත්වය හේතුවෙන් අන්තර් බැංකු විනිමය අනුපාතික මෙන්ම පාරිභෝගික ගැණුම් හා විකුණුම් අනුපාත අනපේක්ෂිතව ඉහළ ගිය අතර, විනිමය අනුපාතිකය මත අහිතකර සමපේක්ෂණ බලපෑම් ඇති විය.

මෙම පසුබිම මත, විනිමය අනුපතිකයෙහි අවප්‍රමාණය වීම හා අධික අස්ථාවරත්වය සීමා කිරීම අවශ්‍ය විය. එසේ නොවන්නේ නම්, මේ මොහොතේ රට මුහුණ දෙන ගෙවුම් තුලන අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගත් කළ, විනිමය අනුපාතිකයේ එවැනි අසීමිත අවප්‍රමාණයවීම සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට අතිශයින්ම අහිතකර බලපෑමක් ඇති කිරීමට හේතු විය හැකිය. තව දුරටත්, බලපත්‍රලාභී වාණිජ බැංකුවල භාණ්ඩාගාර ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවලදී අන්තර් බැංකු වෙළෙඳපොළ එතැන් විනිමය අනුපාතිකය තීරණය කිරීම වාණිජ බැංකු මඟින් සිදු කළද, විනිමය අනුපාතිකයෙහි විචලනයන් පිළිබඳව මහ බැංකුවෙන් වෙළඳපොළට යම් මග පෙන්වීමක් අවශ්‍ය බව අවධාරණය කරන ලදී.

වෙළෙදපොළ හවුල් කරුවන්ගේ අදහස් ලබාගනිමින් පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහා බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. මෙම වැඩපිළිවෙළ බොහෝ විට ‘ස්ථාවර විනිමය අනුපාතික’ ක්‍රමයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරනු ලැබුව ද, මෙම වර්තමාන තාවකාලික සැකැස්ම සහ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය අතර පැහැදිලි වෙනස්කම් තිබේ. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය යටතේ සාමාන්‍යයෙන්, මහ බැංකුවක් විසින් ස්ථාවර මධ්‍ය අනුපාතිකය නියම කරනු ලබන අතර, වත්මන් සැකැස්ම යටතේ වෙළඳපළ මඟින් තීරණය වන විචල්‍ය එතැන් අනුපාතිකය මධ්‍ය අනුපාතිකය ලෙස සලකනු ලැබේ. මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින්, මෙතෙක් විධිමත් වෙළඳපොළ සහ අවිධිමත් වෙළඳපොළවල් දෙකෙහිම විනිමය අනුපාතිකය තීරණ කිරීමේදී ඉහළ ස්ථායීතාවයක් ලගාකර ගැනීම සහ එහි පැවති අධි ලාභ අවම කර ගැනීමට ද හැකි වූ අතර, එහි ප්‍රතිඵල පාරිභෝගික ගනුදෙනු සඳහා භාවිතා කරන විනිමය අනුපාතවලින් ද පිළිබිඹු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට අනුව, වෙළදපොළ බලවේග සහ ආර්ථික මූලධර්ම වෙනුවට සමපේක්ෂන මඟින් වැඩි වශයෙන් මෙහෙයවන ලද විනිමය අනුපාතිකයේ අධික විචලනයන් අත්විඳින ලද පෙර ක්‍රමයට සාපේක්ෂව, අඩු විචලනයක් සහිත වඩා හොදින් පුරෝකථනය කළ හැකි සහ වෙළෙඳපොළ බලවේග මගින් මෙහෙයවනු ලබන දැනට පවත්නා විනිමය අනුපාතික ක්‍රමය පිළිබඳව පුළුල් එකඟතාවක් පවතී.

රජය සහ මහ බැංකුව වත්මන් විනිමය අනුපාත සැලැස්මට සමගාමීව, විදේශීය අංශයේ නිරීක්ෂණය වූ සමහර අසමතුලිතතා නිවැරදි කිරීම සඳහා අනුපූරක ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාවට නංවා ඇති අතර, එමඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ස්ථාවරත්වය ලගා කරගත හැකි විය. විවෘත ගිණුම් ක්‍රම සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ගෙවීම් ක්‍රම මත පනවා ඇති සීමාවන් අවිධිමත් වෙළඳපොලේ ක්‍රියාකාරකම් සීමා කිරීමට උපකාරී වී ඇති අතර, එමඟින් නිල විනිමය අනුපාතිකය සහ අවිධිමත් වෙළඳපල අනුපාතිකය අතර පරතරය අඩු වේ. ඒ අනුව, අවිධිමත් වෙළඳපල ක්‍රියාකාරකම් නිදහසේ ක්‍රියාත්මක විය හැකි විනිමය ක්‍රමවේදයකට සාපේක්ෂව, වත්මන් විනිමය අනුපාත සැකැස්ම වඩාත් විශ්වාසදායක යාන්ත්‍රණයක් ලෙස සලකනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, නව විනිමය අනුපාත විධිවිධාන හඳුන්වාදීමෙන් පසු බැංකු පද්ධතියට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම් වේගවත් වී ඇති අතර, ඒවා රුපියල් බවට පරිවර්තනය කිරීම් වැඩි වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව ආනයන වියදම්, 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේදී කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. ආනයන වියදම් අඩු වුවද, ඉදිරි කාලය තුළ බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික මූලාශ්‍රවලින් බැංකු පද්ධතිය වෙත වන අපේක්ෂිත ගලා ඒම් සමඟ වෙළෙදපොලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකි බව සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ලැබේ. 2022 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතිකය ඉහල ලෙස අවප්‍රමාණය වීම අනුව, හදිසි නොවන ආනයනයන් මත වන වියදම් අඩුවීමත්, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සදහා භාණ්ඩ හා සේවා අපනයන ආදායම වැඩිවීම මඟින් බැංකු පද්ධතියට ලැබෙන ගලා ඒම් වැඩි වීමත් සමඟ තවදුරටත් වෙළඳපොළ පදනම් වූ නිවැරදි කිරීමක් අපේක්ෂා කෙරේ.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මෙම වර්ධනයන්, අනෙකුත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන සාකච්ඡා ද, අරමුදල් ලබාගැනීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමේ ප්‍රගතිය මඟින් තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පවතින විනිමය අනුපාතික සැකැස්ම කලින් කලට සමාලෝචනය කරන බවත්, අපේක්ෂිත විදේශ විනිමය ගලා ඒම් සමග වෙළඳපොළ විශ්වාසය යථා තත්ත්වයට පත් වූ පසු, අවශ්‍ය වන්නේනම් විනිමය අනුපාතිකය තවදුරටත් නම්‍යශීලී වීමට ඉඩ සලසන බවටත් මහ බැංකුව නැවත අවධාරණය කිරීමට කැමතිය.

Published Date: 

Monday, June 6, 2022