මුදල් ප්‍රතිපත්ති විවරණය∶ 2017 අංක 1

ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, 2016 දෙසැම්බර් මාසයේ දී වාර්තා කරන ලද සියයට 4.5 හා සැසඳීමේ දී 2017 ජනවාරි මාසයේ දී සියයට 5.5ක් දක්වා ඉහළ ගියේ ය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මූලික උද්ධමනය ද 2016 දෙසැම්බර් මාසයේ වාර්තා කරන ලද සියයට 5.8 සිට 2017 ජනවාරි මාසයේ දී සියයට 7.0 ක් දක්වා ඉහළ ගියේ ය. කාල පමාවක් සහිත ව ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මත පදනම් ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනයෙහි කිසියම් ඉහළ යෑමක් පෙන්නුම් කරමින් 2016 දෙසැම්බර් මාසයේ දී පිළිවෙළින් සියයට 4.2ක් සහ සියයට 6.7ක් විය. බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් සහ අයහපත් කාලගුණ තත්ත්වයන්හි බලපෑම හේතුවෙන් මෑත කාලයේ දී උද්ධමනයේ කිසියම් ඉහළ යෑමක් සිදු වුව ද, නිසි සැපයුම් සහ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති හේතුවෙන් වසර තුළ දී සාමාන්‍ය උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවතිනු ඇතැ යි පුරෝකතනය කෙරේ. 

මේ අතර 2016 වසර අවසානයේ දී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය  වර්ධනය සියයට 21.9 ක ඉහළ අගයක් වාර්තා කළේ ය. 2016 ජුලි මාසයේ පැවැති සියයට 28.5ක ඉහළ මට්ටම හා සාපේක්ෂ ව ණය වර්ධනයෙහි කිසියම් අඩුවීමක් වාර්තා වුව ද, නාමික හා මූර්ත පොලී අනුපාතිකවල සැලකිය යුතු ඉහළ යෑම මධ්‍යයේ වුව ද ණය ප්‍රසාරණය ඉහළ මට්ටමක පැවැතුණි. ප්‍රධාන වශයෙන්, පෞද්ගලික අංශයට හා රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණයෙහි ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2016 වසර අවසානයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමෙහි (M2b) වර්ධනය සියයට 18.4ක ඉහළ මට්ටමක පැවතියේ ය. අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධනය සහ මැද තනි අගයක මට්ටමේ උද්ධමනය හා ගැළපෙන අගයක් දක්වා මුදල් සහ ණය සමස්තවල ප්‍රසාරණය 2017 වසර තුළ දී ක්‍රමික ව මන්දගාමී වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. 

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Tuesday, February 7, 2017