ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකු කොවිඩ්-19 ආසාදනයට ලක් වී ඇති බව 2020 නොවැම්බර් 19 වන දින අනාවරණය විය. ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවෙයි.
මේ බව අනාවරණය වූ වහා ම වෛරසය පැතිර යෑම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇත. මහ බැංකු මූලස්ථාන පරිශ්‍රය පූර්ණ හා දැඩි විෂබීජහරණයකට ලක් කිරීම, ආසාදිතයාගේ සමීප ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම මේ වන විටත් සිදු කොට අවසන් ය. එම පරීක්ෂණ අනුව ආසාදිතයා හැර අන් කිසි ම නිලධාරියකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. නමුත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ආසාදිතයා අනාවරණය වූ දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යේෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ම 2020 නොවැම්බර් 20 වන දා සිට සති දෙකක කාලයක් නිවසේ සිට සිය සේවා සපයනු ඇත.