කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී තවදුරටත් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 29.8හි සිට 2022 මැයි මාසයේ දී සියයට 39.1ක් දක්වා ඉහළ ගියේය. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 46.6හි සිට 2022 මැයි මාසයේ දී සියයට 57.4 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 30.6 දක්වා ඉහළ ගියේය.

2022 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 8.34ක් ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 4.87කින් සහ සියයට 3.47කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (එල්.පී. ගෑස් සහ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය/පිළිසකර කිරීම්), ආපනශාලා සහ හෝටල් සහ විවිධ භාණ්ඩ සහ සේවා (මෝටර් රථ රක්‍ෂණ ගාස්තු) යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. තවද, ආහාර කාණ්ඩය තුළ 2022 මැයි මාසයේ දී, එළවළු, නැවුම් මත්ස්‍ය, සහල්, පාන්, කරවල සහ පරිප්පු මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 11.3හි සිට 2022 මැයි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 22.0හි සිට 2022 මැයි මාසයේ දී සියයට 28.4 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 8.1හි සිට 2022 මැයි මාසයේ දී සියයට 10.2 දක්වා ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 31, 2022