ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2021 මාර්තු මාසයේ දී ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 6.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 8.8 දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 1.9හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 5.5හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 5.3 දක්වා පහළ ගියේය.

2021 මාර්තු මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.48ක් ලෙස වාර්තා වූ අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ පහළ යෑම මේ සඳහා හේතු විය. තවද, 2021 මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට -0.63ක් සහ සියයට 0.16ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, එළවළු, අමු මිරිස්, සහ රතු ළූණු මිල ගණන්වල පහළ යෑමක් දක්නට ලැබුණි. මේ අතර, ප්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මාර්තු මාසයේ දී වාර්තා විය.

තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.1හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී පැවති සියයට 4.2හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, April 21, 2021