2020 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ආදායම ඉහළ යෑමේ වේගයට වඩා වැඩි  වේගයකින් ආනයන වියදම් ඉහළ යෑම  හේතුවෙන්  2019 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂ ව 2020 වසරේ පෙබරවාරි මාස‍යේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. පාස්කු ඉරු දින ප්‍රහාරවල බලපෑමෙන් අනතුරු ව අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත් වූ සංචාරක කර්මාන්තය, 2020 වසරේ පෙබරවාරි මස අග සිට  කොවිඩ්-19 (COVID-19) ව්‍යාප්ත වීම වසංගත තත්ත්වයක් බවට පත්වීමත් සමඟ නැවත බලපෑමට ලක් විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ පෙබරවාරි මාසයේ දී  පෙර වසරට සාපේක්ෂ ව වර්ධනයක් වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස දෙවන සතිය දක්වා සාපේක්ෂ ලෙස ස්ථාවර ව පැවති ශ්‍රී ලංකා රුපියල, මාර්තු මස අග භාගයේ සිට 2020 වසරේ අප්‍රේල් මස මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ නමුත් ඉන් පසු ව ස්ථාවර වෙමින් 2020 වසරේ මැයි මස පළමු සතිය තුළ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේ ය. 2020 වසරේ මාර්තු මස සිට කොවිඩ්-19 වසංගතය හේතුවෙන්  විශේෂයෙන් ම, භාණ්ඩ අපනයන, සංචාරක කර්මාන්තය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ විදේශීය ආයෝජන යන අංශ ඇතුළු ව, විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සැලකිය යුතු බලපෑමකට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, May 15, 2020