ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. 

සැපයුම් අංශයේ බලපෑම හේතුවෙන් උද්ධමනය කෙටිකාලීනව ඉහළ ගිය ද, උද්ධමනය මැදි තනි අගයක මට්ටමෙහි ස්ථායී වනු ඇත. 

හිතකර දේශීය සැපයුම් තත්ත්ව හේතුවෙන් නිතර මිල උච්චාවචනය වන ආහාර මිල ගණන් පහළ යෑමත් සමඟ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනය අඩු තනි අගයක මට්ටමක් දක්වා අඛණ්ඩව මන්දගාමී විය. මේ අතර, ඉල්ලුම් පීඩන පාලනය වීම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය අඩු මට්ටමක පැවති අතර, උද්ධමන අපේක්ෂා අඛණ්ඩව පහළ ගියේය. කෙසේ වෙතත්, දේශීය ඛනිජ තෙල් නිෂ්පාදන, එල්.පී. ගෑස් සහ කිරිපිටි සඳහා මිල ඉහළ නැංවීමේ බලපෑම හේතුවෙන් උද්ධමනයෙහි තාවකාලික ඉහළ යෑමක් කෙටිකාලීනව අපේක්ෂා කෙරේ. කෙසේ නමුත්, සැපයුම් අංශයේ තාවකාලික මිල පීඩන පහව යෑමත් සහ දේශීය ආහාර සැපයුම තවදුරටත් වැඩිදියුණු වීමත් සමඟ, 2018 වසරේ දෙවන භාගයේ දී අපේක්ෂිත මැදි තනි අගයක මට්ටමේ උද්ධමනය ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය මැදිකාලීනව සියයට 4-6 ක ඉලක්කගත පරාසයක් තුළ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ.

2018 වසරේදී ආර්ථික වර්ධනය ක්‍රමිකව යථා තත්ත්වයට පත්වනු ඇත. 

2017 වසර තුළදී අඩු වර්ධන ක්‍රියාකාරිත්වයක් පැවතිය ද, ගෝලීය ආර්ථික කටයුතු ශක්තිමත් වීම සහ දේශීය තත්ත්ව වර්ධනය වීම මගින් 2018 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍යස්ථ ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආර්ථිකයේ වර්ධන ප්‍රවණතා පෙන්නුම් කරන දර්ශක මගින් පිළිබිඹු කෙරෙන පරිදි කෘෂිකාර්මික අංශය ප්‍රමාණවත් ලෙස යථා තත්ත්වයට පත්වීම සහ කර්මාන්ත සහ සේවා අංශවල යහපත් වර්ධනය අඛණ්ඩව පැවතීමත් සමඟ ආර්ථික ක්‍රියාකාරිත්වය වර්ධනය වනු ඇත. අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය තුළින් වර්ධනය මත යම් බලපෑමක් ඇති වුවද මූල්‍ය විනය තුළින් ආර්ථිකය මත ඇති වන සාර්ව ආර්ථික ප්‍රතිලාභ මගින් මැදිකාලීන තිරසාර වර්ධනය තහවුරු කරනු ඇත. අපේක්ෂිත ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම  සහ අපේක්ෂිත විදේශ ආයෝජන ලැබීම් මෙන්ම, අඩු උද්ධමන වාතාරවණයක් සහ තරගකාරී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම, මැදිකාලීනව, ආර්ථිකයට අත්කර ගත හැකි ඉහළ වර්ධන මට්ටම කරා ළඟා වීමට අවස්ථාව සලසා දෙනු ඇතැයි අපේක්ෂිතය.

2018 අප්‍රේල් මස සිදු කළ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සඳහා කෙටිකාලීන වෙළඳපොළ පොලී අනුපාතික ප්‍රතිචාර දක්වයි. 

2018 අප්‍රේල් මස සිදු කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින්, එක්දින පොලී අනුපාතික පහළ ගොස්, පටු පරාසයකින් යුතු  ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ මධ්‍යය ආසන්නයේ ස්ථාවරව පැවතිණි. කෙටිකාලීන පොලී අනුපාතික අඩුවීම අනුව, අනෙකුත් පොලී අනුපාතික, විශේෂයෙන්ම, ණය පොලී අනුපාතික ඉදිරි කාලයේදී අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය අපේක්ෂිත මට්ටමේ පැවති නමුත්, උත්සව සමය හේතුවෙන් 2018 මාර්තු මාසයේදී ඉහළ ණය ඉල්ලුමක් දක්නට ලැබුණි.  2018 මාර්තු මස අවසානය සඳහා වන දත්තවලට අනුව, පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශ වෙත ගලා යෑමක් දක්නට ලැබිණි. උත්සව සමය තුළ සිදු වූ ණය ප්‍රසාරණයෙහි ප්‍රතිඵලයක් ලෙස, 2018 මාර්තු මාසයේදී පුළුල් මුදල් වර්ධනය සුළු වශයෙන් ඉහළ ගියේය. කෙසේ නමුත්, 2018 වසර අවසානය වන විට පුළුල් මුදල් වර්ධනය සියයට 15 ක පමණ මට්ටමේ ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැඩි ගෝලීය මූල්‍ය තත්ත්ව මධ්‍යයේ වුවද නිල සංචිත වර්ධනය විය. 

2018 වසරේ පළමු මාස දෙක තුළදී අපනයන ආදායම ඉහළ යෑමත් සමඟ අපනයනවල ධනාත්මක වර්ධනය අඛණ්ඩව දක්නට ලැබිණි. කෙසේ වුවත්, රත්‍රන් සහ වාහන ආනයන හේතුවෙන් ආනයන වියදම අපනයන ආදායම අභිබවා ඉහළ යෑමෙහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟය පුළුල් විය. රත්‍රන් ආනයන මත පනවන ලද තීරුබදු වෙළඳ හිඟය යම්තාක් දුරකට අඩු කිරීම සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2018 වසරේ මේ දක්වා කාලය තුළදී සංචාරක ඉපයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ ගියේය. දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වවල බලපෑම හමුවේ, 2018 වසරේ මේ දක්වා කාලය තුළදී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළේ විදේශ ආයෝජනවල ශුද්ධ අඩුවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළෙහි ශුද්ධ ලැබීම් වාර්තා විය. මෙම වර්ධනයන් මධ්‍යයේ, 2018 වසරේ අප්‍රේල් මස අවසානය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය වෙළඳපොළ වෙතින් ශුද්ධ පදනම මත එ.ජ. ඩොලර් මිලියන 458.5 ක විදේශ විනිමය මිලදී ගනු ලැබීය. 2018 වසරේ අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව නිකුත් කිරීම සහ මහ බැංකුව දේශීය වෙළඳපොළ වෙතින් විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන් 2018 අප්‍රේල් මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන එ.ජ. ඩොලර් බිලියන 9.9 ක් දක්වා ඉහළ ගියේය. 2018 වසරේ මේ දක්වා කාලය තුළදී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.1 කින් අවප්‍රමාණය වී ඇත. එ.ජ. ඩොලරය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පුළුල් ලෙස ශක්තිමත් වීම පිළිබිඹු කරමින් අප්‍රේල් මස අග භාගයේදී සහ මැයි මස මුල් කාලයේදී මෙම අවප්‍රමාණය වීම වැඩි වශයෙන් සිදු විණි. විනිමය අනුපාතිකයෙහි ඉහළ උච්චාවචන මැඩපැවැත්වීම සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වූ අතර, එමගින් රුපියල ස්ථාවර වීමක් මේ වන විට පෙන්නුම් කර ඇත. ‍

උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සඳහා පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගනු ලැබීය.

දැනට පවතින වර්ධනයන් සහ ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යවල පුරෝකථන මත පදනම්ව, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අදහස විය. මෑතකාලීන ගෝලීය වෙළඳපොළ වර්ධනයන්, මෑතකදී සිදු කළ පරිපාලිත මිල වෙනස්වීම් මගින් සාර්ව ආර්ථිකය මත ඇති වන බලපෑම සහ 2018 අප්‍රේල් මස සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීම මගින් ඇති වූ ආර්ථික බලපෑම සහ වෙළඳපොළ තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වීම යන කරුණු මතද මෙම තීරණය ගැනීම සඳහා මුදල් මණ්ඩලය අවධානය යොමු කළේය. 

ඒ අනුව, මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක ස්ථාවර කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය අනුව යමින්, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

 

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.25%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 7.50%

 

 

 

 

 

 

 

 

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2018 මැයි 11) මධ්‍යහ්න 12.00 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ. 

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2018 ජුනි මස 29 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

 

 සම්පුර්ණ ලිපිය

                

 

 

 

 

 

Published Date: 

Friday, May 11, 2018