ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1.25ක් හා වසර 10ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත පත්‍රිකා (පත්‍රිකා), අනුපිළිවෙළින් 2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 යන කල් පිරීම් දින සහිත ව 2018 අප්‍රේල් 11 වන දින නිකුත් කළේ ය. මෙම පත්‍රිකා සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investors Service), ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් 'B 1', 'B +' සහ 'B +' යන ශ්‍රේණිගත කිරීම් ලබා දුන්නේ ය.

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව සිදු කළ දොළොස්වන එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ සිදු වූ විශාලතම අක්වෙරළ බැඳුම්කර නිකුතුව නියෝජනය කරන අතර එය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩ ව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කරයි. මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ  පොත් පවත්වා ගන්නන් (Bookrunners) ලෙස සිටිගෘප් (Citygroup), ඩොයිෂ් බෑන්ක් (Deutsche Bank), එච්එස්බීසී (HSBC), ජේ පී මෝර්ගන් (J P Morgan) හා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කළේ ය. 

අභියෝගාත්මක වෙළෙඳපොළ පරිසරයක සුදුසු නිකුතු කවුළු හඳුනා ගනිමින්, 2018 අප්‍රේල් 11 වන දින ආසියානු කලාපයේ උදය කාලයේ දී ශ්‍රී ලංකාව විසින් ගනුදෙනුව නිවේදනය කරන ලදි. ඒකාබද්ධ හවුල්කාරිත්වය විසින් මෙම නව, වසර 5 ක සහ වසර 10 ක පරිණත කාළ සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙළින් 6.00%ක් සහ 7.00%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කළේ ය. ණය කාණ්ඩ දෙකෙහි ම මිල මාර්ගෝපදේශ, පදනම් අංක 25කින් පහළ දැමීමට නිකුත් කරන්නාට හැකියාව ලබා දෙමින්, ඉහළ ගුණාත්මක බවකින් යුතු ආයෝජකයන් පුළුල් පරාසයක් සහිත ව දැඩි උනන්දුවක් මෙම ගනුදෙනුව සඳහා දැක්වූවේ ය. අවසානයේ දී, වසර 5 වසර 10 ණය කාණ්ඩ සඳහා පත්‍රිකා මිලකරණය නිව්යෝර්ක් පැය කාල පරාසය තුළ දී පිළිවෙළින් 5.75%ක සහ 6.75% ක කූපන් අනුපාතිකය  සහිත ව මූලික මිල මාර්ගෝපදේශයට වඩා අඩු අගයකින් සිදු කළේ ය.  

අවසාන ඇණවුම්  පොතේ වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 235කට අධික ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.0කට අධික ව ද, වසර 10 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5කට අධිකව ද ඇණවුම් ලැබිණ. මෙයින් පැහැදිලි ව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව සහ එහි  ආර්ථික දැක්ම කෙරෙහි  ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසයයි.

ඇණවුම් පොතේ ණය කාණ්ඩ දෙක ම ඉතා හොඳින් විවිධාංගීකරණය වී  ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 66%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 24%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 10% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. ආයෝජක වර්ගය අනුව 92%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1% ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී ගියේ ය. දස අවුරුදු කාණ්ඩයෙන් 65%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 29%ක්  යුරෝපා ආයෝජකයන්ගෙන් ද සහ ඉතිරි 6%  ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ග අනුව,  බෙදා වෙන් කිරීමේ දී  පස් අවුරුදු කාණ්ඩය හා සමාන වේ. එනම් 92%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1%ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී යන අයුරින් වේ. 
 
සටහන:
මෙම පුවත්පත් නිවේදනය එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් නො වේ. මෙහි දක්වා ඇති සුරැකුම්පත් 1933 එක්සත් ජනපද සුරැකුම්පත් පනත, සංශෝධිත (“සුරැකුම්පත් පනත”) යටතේ ලියාපදිංචිය ලබා නැති අතර, ඉදිරියේ ද ලියාපදිංචි කරනු නො ලබනු ඇත. තව ද, එක්සත් ජනපදයේ කිසිදු සුරැකුම්පත් නීතියකට හෝ එක්සත් ජනපදයේ  ලියාපදිංචි නොමැති ව ඉදිරිපත් කිරීමට හෝ විකිණීම කළ නො හැකි අතර, අදාළ නිදහස් කිරීම්වලින් හෝ සුරැකුම්පත් පනත යටතේ ලියාපදිංචි වීම අවශ්‍ය නො වන සහ එක්සත් ජනපදයේ අදාළ සුරැකුම්පත් නීතිවලට යටත් නො වන ගනුදෙනු  වේ. එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් ප්‍රසිද්ධ නිකුතුවක් සිදු කරනුයේ නිකුත් කරන්නාගෙන් ලබා ගන්නා සහ නිකුත් කරන්නා පිළිබඳ ව සවිස්තර තොරතුරු අඩංගු ප්‍රකාශ පත්‍රිකාවක් මගිනි. මෙම පුවත් පත් නිවේදනයේ කිසිවක් සුරැකුම්පත් විකිණීමට හෝ මිලදී ගැනීමට කරනු ලබන ඉදිරිපත් කිරීමක් නො වන අතර, එ වැනි ඉදිරිපත් කිරීමක් හෝ විකිණීමක් ඕනෑම අධිකරණයක නීති විරෝධී ලෙස සැලකේ. ශ්‍රේණිගත කිරීම, සුරැකුම්පත් මිල දී ගැනීම, විකිණීම හෝ තබා ගැනීම නිර්දේශ කිරීමක් නො වන අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඕනෑ ම අවස්ථාවක, අඩු කිරීම හෝ ආපසු ගැනීමේ හෝ අත්හිටුවීමේ කටයුතුවලට යටත් විය හැක.
 

 

Published Date: 

Thursday, April 12, 2018