ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා මුදල් විශුද්ධිකරණයට එරෙහි අනුකූලතා වගකීම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්‍රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒම්. තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාර්ඩ් ඩීන් මහතා සහ ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ඇතුළුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සියයකට අධික පිරිසක් සහභාගී විය.

මැණික් හා ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ හා ගල් ආශ්‍රිත කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධානතම දායකත්වයක් සපයන කර්මාන්තයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොල වෙත වටිනා ගල් වර්ග අපනයනය කරනු ලබන නවවන විශාලතම අපනයනකරු වන අතර ලෝකයේ වටිනාම මැණික් සහිත රටවල් පහෙන් එකක් ද වේ. තවද, ශ්‍රී ලංකාව වටිනා මැණික් වර්ග ලොවට අඛණ්ඩව සපයන සැපයුම්කරුවෙකි. නමුදු, ජාත්‍යන්තර වශයෙන් සැළකු විට මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක අපනයන ආදායමක් ලබන තායිලන්තය සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක අපනයන ආදායමක් ලබන හොංකොං වැනි ගෝලීය පාර්ශ්වකරුවන්ගේ තත්ත්වයට සම වීමට තවමත් ශ්‍රී ලංකාව සමත්ව නැත. 2022 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනය මගින් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වන අතර පසුගිය වසර 5 තුළ එවන් අපනයනයන්හි වාර්ෂික සාමාන්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 298ක් විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, July 19, 2023