ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018 ප්‍රකාශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2018”  පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු,  රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මුදල්  සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය,  විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්බ ලක්ෂණවලට අදාළ දත්ත ද මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ පළාත් මට්ටමේ සවිස්තරාත්මක තොරතුරු ද මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. දත්ත භාවිත කරන්නන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි විවිධාකාරයෙන් මෙම ප්‍රකාශනයේ දත්ත ඉදිරිපත් කර ඇති අතර, මෙය ව්‍යවසායකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට, ශිෂ්‍යයන්ට සහ මහජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.  

සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල (චැතැම් වීදිය, කොළඹ 01), බැංකු විදු පියෙස ( අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය ) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල බෙදාහැරීම් කවුළුවලින් මෙම ප්‍රකාශනය මිල දී ගත හැකි අතර විද්‍යුත් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (http://www.cbsl.gov.lk) ලබා ගත හැක.

 

 

Published Date: 

Tuesday, September 11, 2018