විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 මාර්තු

වෙ‍ළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මාර්තු මාසයේ දී පුළුල් විය. 2020 වසරේ මාර්තු සහ 2021 වසරේ පෙබරවාරි මාසයන්ට සාපේක්ෂව, 2021 වසරේ මාර්තු මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ස්ථාවර ලෙස වර්ධනය වූ අතර, සංචාරක අංශය ඉතා මන්දාගාමී වේගයකින් වුව ද අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2021 වසරේ මාර්තු මාසයේ දී ද රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඔ කොටස් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන හා සම්බන්ධ ශුද්ධ ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. උත්සව සමයේ ආනයන සඳහා පැවතුණු ඉල්ලුම් ප්‍රවණතාවය ද පෙන්නුම් කරමින් මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය විය. කෙසේ වෙතත්, ප්‍රධාන වශයෙන් මාර්තු මාසය මැද දක්වා පැවති නියාමන ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, මහ බැංකුව විසින් දළ නිල සංචිත තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා මෙම මාසය තුළ දී ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගන්නා ලදී. මේ අතර, දෙ රට අතර ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහාත්, දෙපාර්ශ්වයේ ම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් භාවිත කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව 2021 වසරේ මාර්තු මාසයේ දී චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.5ක) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 18, 2021