විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීමේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත්

විද්‍යුත්  ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම්වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන් ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමට ව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ  ගෙවීම් ක්‍රම  සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර  ප්‍රමිතීන්ට අනුකූල ව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩ ව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත්  ගෙවීම් සිදු කිරීමේ දී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බිවලට (e-Wallet) ප්‍රවේශ වීමට සහ භාවිත කිරීමට යොදා ගනු ලබන රහස්‍ය  තොරතුරු අන් අයට ලබා දීමේ දී ප්‍රවේශම් විය යුතු ය. ගනුදෙනුකරුවන්ගේ ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත්, විද්‍යුත්  පසුම්බි හෝ වෙනත් විද්‍යුත්  ගෙවීම් ක්‍රම වෙත ප්‍රවේශ වීමට, භාවිත කිරීමට හෝ ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීමට භාවිත කළ හැකි ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් අංක, හර හෝ බැර ගෙවීම් කාඩ්පත්වල අඩංගු කාඩ්පත් අංක, ගෙවීම් කාඩ්පත්වල පිටුපස ඇති අංක (CVV) සහ එහි කල් ඉකුත් වීමේ දිනය වැනි විස්තර, ජාතික හැඳුනුම්පත් අංකය, අන්තර්ජාල හෝ ජංගම බැංකු හෝ විද්‍යුත්  පසුම්බි සඳහා භාවිත කරන මුරපද, පුද්ගලික හැඳුනුම් අංක (PIN), ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක්-වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP), ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන අගයන් සඳහන් වන කෙටි පණිවිඩ සහ වෙනත් ඕනෑ ම තොරතුරු රහස්‍ය තොරතුරු ලෙස සැලකේ. මෙවැනි තොරතුරු ගනුදෙනුකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට භාවිත වන අතර එමගින් මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව වැඩි කිරීම මෙන් ම ගනුදෙනුකරුගේ අරමුදල් සුරක්ෂිත වීම ද සිදු වේ. මුරපද, පුද්ගලික හැඳුනුම් අංක, එක් වරක් පමණක් භාවිත කරන මුරපද, ගනුදෙනුවල සත්‍යභාවය සහතික කිරීම සඳහා ගනුදෙනුකරු වෙත පමණක් එවනු ලබන කෙටි පණිවිඩ හෝ ගනුදෙනුවල සත්‍යභාවය සහතික කර ගත හැකි වෙනත් තොරතුරු කිසිදු පාර්ශ්වයකට දැන ගැනීමට සැලැස්වීම නො කළ යුතු අතර ඒවා නියමිත කාර්යයන් සඳහා පමණක් භාවිත කළ යුතු ය. වංචනික පාර්ශ්වයන්ට මෙවැනි තොරතුරු භාවිත කොට ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වීමටත්, ගනුදෙනුකරුගේ අරමුදල් අවභාවිත කිරීමටත් හැකි බැවින් මෙවැනි ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල සුරක්ෂිතභාවය අඩු වේ. 

වංචනික ලෙස සිදු වන විද්‍යුත්  ගනුදෙනු  වැළැක්වීමට උපකාර වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක් ව දැනටමත් නියමයන් නිර්දේශ කර ඇත. ඒ අනුව, බලපත්‍රලාභී මූල්‍ය ආයතන සියලු විද්යුත් ගෙවීම් සඳහා කෙටි පණිවිඩ සේවා (SMS) මගින් දැනුම් දීමේ හෝ වෙනත් තත්කාලීන දැනුම් දීමේ පහසුකමක් ලබා දිය යුතු අතර  ඊඑම්වී (EMV) චිප් පදනම් කර ගත් ගෙවීම් කාඩ්පත් ද නිකුත් කළ යුතු ය. ගෙවීම් කාඩ්පත් ආශ්‍රිත ව වංචනික ක්‍රියාවන් වැළැක්වීම සඳහා වැඩිදියුණු කරන ලද ආරක්ෂිත ක්‍රමවේද ඊඑම්වී චිප් පදනම් කර ගත් කාඩ්පත්වල ඇතුළත් කර ඇත. 

අනවසර ලෙස සිදු වන විද්‍යුත්  ගනුදෙනු වළක්වා ගැනීම සඳහා, විද්‍යුත් ගෙවීම් පිළිබඳ තත්කාලීන දැනුම් දීමේ පහසුකම් සඳහා ලියාපදිංචි වන ලෙසත්, ඊඑම්වී චිප් පදනම් කර ගත් ගෙවීම් කාඩ්පත් අදාළ බලපත්‍රලාභී බැංකු සහ බැංකු නො වන මූල්‍ය ආයතනවලින් නො පමා ව ලබා ගන්නා ලෙසත් විද්‍යුත්  ගෙවීම් සිදු කිරීමේ දී භාවිත කරනු ලබන රහස්‍ය තොරතුරු අන් අය වෙත ලබා දීමේ දී ප්‍රවේශම් වන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

 

Published Date: 

Thursday, August 1, 2019