ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි මුදල් ගෙවීම - දෙවැනි අදියර

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීමේ වැඩසටහනෙහි දෙවැනි අදියර 2020.07.02 වැනි දින සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා ඇත. එම ගෙවීම් එදින සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 63ක් මගින් සිදු කෙරෙනු ඇත. මෙම රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමවේදය යටතේ එක් තැන්පත්කරුවෙකු සඳහා ගෙවනු ලබන උපරිම මුදල රුපියල් 600,000/-කි.

මෙම දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමත් සමඟ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. විසින් ගෙවීම් තහවුරු කරනු ලැබූ අනෙකුත් සියලු ම තැන්පත්කරුවන්ට ගෙවීම් කිරීම 2020.07.02 දින සිට ආරම්භ කරනු ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. ආයතනයේ මුදල් ව්‍යාපාර බලපත්‍රය අවලංගු කිරීමෙන් පසුව එම ආයතනයේ තැන්පත්කරුවන්/තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල යටතේ රක්ෂණ වන්දි මුදල් ගෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020.06.07 වැනි දින ආරම්භ කරන ලදි. පළමු පියවර යටතේ එක් තනි පුද්ගල ගිණුමක් හැර වෙනත් ගිණුම් කිසිවක් නැති තැන්පත්කරුවන් 105,000ක් වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීම ක්‍රියාත්මක වූ අතර මෙම දෙවන පියවර ක්‍රියාත්මක කිරීමත් සමග තවත් තැන්පත්කරුවන් 38,000කට පමණ තමන්ට නියමිත රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට හැකි වනු ඇත. 

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලසීමේ අරමුණින් මෙම රක්ෂණ වන්දි මුදල් කාර්යක්ෂම ලෙස ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු ක්‍රියාමාර්ග ගනු ලැබේ. රක්ෂණ වන්දි ගෙවීම සඳහා මහ බැංකුවේ නියෝජිත ආයතනය ලෙස මහජන බැංකුව පත් කරන ලද්දේ ද එම අරමුණ පෙරදැරිව ය.

තමන්ගේ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ දී තැන්පතු සහතිකවල මුල් පිටපත්, අදාළ හැඳුනුම්පත් යනාදි අවශ්‍ය ලියකියවිලි නිසි ලෙස ඉදිරිපත් කිරීමෙන් මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ද ෆිනෑන්ස් පී.එල් සී. ආයතනයේ තැන්පත්කරුවන්ගෙන් මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

බද්ධ ගිණුම්, බාල වයස්කාර ගිණුම්, කොටස් හිමිකම් බවට හරවන ලද ගිණුම්, ආයතනික හා සමිති ගිණුම් ආදිය සම්බන්ධයෙන් මෙන් ම, මුල් තැන්පතු සහතික/පාස් පොත් අස්ථානගත වී තිබීම, ගිණුම් හිමිකරු මිය ගොස් සිටීම හෝ විදේශගතව සිටීම, නියමිත හැඳුනුම්පත් ඉදිරිපත් නොකිරීම යනාදී තත්ත්වයන් අදාළ වන විට දිව්රුම් ප්‍රකාශ වැනි විශේෂ ලියවිලි සැපයීමට, විශේෂිත අයදුම්පත් සම්පූර්ණ කිරීමට සහ ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී වෙතින් ලබා දෙන තහවුරු කිරීම් ඉදිරිපත් කිරීමට සිදු විය හැකි බැවින් එහි දී මහජන බැංකුව විසින් ලබා දෙන උපදෙස් පරිදි කටයුතු කරන ලෙස තැන්පත්කරුවන්ට/තැන්පතුවල නීත්‍යනුකූල උරුමකරුවන්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

පහත දැක්වෙන දුරකථන අංකයන් වෙතින් මේ සම්බන්ධ වැඩි විස්තර ලබා ගත හැකි ය.

 

මහජන බැංකුව :  0112 481 594, 0112 481 320, 0112 481 612, 0112 481 703

ශ්‍රී ලංකා මහ බැංකුව : 0112 398 788, 0112 477 261

 

Published Date: 

Friday, June 26, 2020