2022 වසරේ ජනවාරි මාසයේ දී කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා පියවර ගෙන තිබිය දී එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම

ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසි පරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක, සහ 2022 වසරේ ජනවාරි 18 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු ණය සේවාකරණ ගෙවීම් පියවීමට ඇති දැඩි කැපවීම පිළිබඳව නැවත නැවතත් සහතික කර ඇති පසුබිමක, එස් ඇන්ඩ් පී ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අද දින සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමට අදාළ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කණස්සල්ලට පත් වී ඇත.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් ඇති ණය වගකීම පියවීමට මඳකට පෙරාතුව ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ ක්‍රියාමාර්ග සිදු කිරීමට එස් ඇන්ඩ් පී ආයතනය ඇතුළු අනෙකුත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන පුන පුනා කටයුතු කිරීමේ ස්වභාවය මෙම පියවර මගින් පිළිබිඹු කෙරේ. සමස්ත ලෝකයම කොවිඩ්-19 වසංගතයේ යළි යළිත් මතුවන ව්‍යාප්තීන් සමඟ සටන් කරමින් සිටින පරිසරයක් තුළ, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ධනාත්මක වර්ධනයන් වෙත නිසි අවධානයක් යොමු කිරීමට මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ දී එස් ඇන්ඩ් පී ආයතනය අසමත්ව ඇත. විශේෂයෙන් ම ආර්ථිකයේ සියලුම අංශ තුළ සිදු වන නවතම වර්ධනයන් සහ විදේශ විනිමය ලැබීම් ඉහළ නැංවීමට ගන්නා ලද බොහෝ ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් විසින් එස් ඇන්ඩ් පී ආයතනය නිරන්තරයෙන් යාවත්කාලීන කරන බැවින්, ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයකට මෙලෙස ක්ෂණික ණය ශ්‍රේණිගත කිරීම සඳහා පියවර ගැනීමට තරම් මතු වූ අවශ්‍යතාව තේරුම්ගත නොහැකි ය. ඇත්ත වශයෙන් ම, විදේශ විනිමය රට තුළට ගලා ඒම වැඩි කිරීමට බලධාරීන් විසින් ගනු ලබන ප්‍රයත්නවලට බාධා ඇති කිරීමට සහ ප්‍රමාද කිරීමට නැවත නැවතත් සිදු කෙරුණු මෙවැනි ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවන් හේතු වී ඇති අතර, ආයෝජකයන්ගේ විශ්වාසයට, රට තුළට ආයෝජන ගලා ඒමට ඇති ඉඩ ප්‍රස්තාවලට සහ රටේ නිල සංචිත ක්‍රමයෙන් ගොඩනැගීමට මෙවැනි ක්‍රියා අහිතකර ලෙස බලපා තිබේ. එමෙන් ම, ණය ශ්‍රේණිගත කිරීමේ මෑත කාලීන පියවර මගින් සංචිත ගොඩ නැගීමේ වේගය අඩාල කර ඇති අතර, එවැනි නිවේදන මත ක්‍රියා කළ ආයෝජකයින්ට හානිකර ලෙස බලපා ඇත.

එස් ඇන්ඩ් පී ආයතනය විසින් ධනාත්මක වර්ධනයන් නිරීක්ෂණය නොවෙතැයි සඳහන් කර තිබුණ ද, ප්‍රධාන ආර්ථික සහ මුල්‍ය දර්ශක, මෑත දී ප්‍රකාශයට පත් කළ අය වැය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කරන ලද සය මාසික පෙර දැක්ම මගින් ඉදිරිපත් කරන ලද පියවර සහ සැලසුම් සමඟ අනුගතව පවතී. නුදුරු කාලීන මුල්‍යන පහසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විවිධ ද්වීපාර්ශ්වික මූලාශ්‍ර සමඟ සිදු කරන සැලසුම් අවසන් වෙමින් පවතින අතර, එම පහසුකම් ඉදිරියේ දී ලැබීමට නියමිතය. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග ගණනාවකට මුහුණ දුන්න ද, සියලුම ප්‍රධාන දර්ශකවල ධනාත්මක වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන ආකාරයට ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවට පැහැදිලිව ප්‍රකාශ වේ. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින අතර අපනයන අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ නැංවීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග ද අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙමින් පවතී. ද්‍රවශීලතා පහසුකම් හා වෙළෙඳ මූල්‍යනයන් ඇතුළු රජයක් විසින් තවත් රජයකට ලබා දෙන මූල්‍යන පහසුකම් සහ මහ බැංකු අතර මුදල් හුවමාරු ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කලාපීය රටවල් සමඟ ඉහළ තලයේ සාකච්ඡා හරහා පියවර ගැනේ. මෙම ක්‍රියාදාමයන් මගින් ශ්‍රී ලංකා ආර්ථිකය ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් සහ වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සය මාසික ඉදිරි දැක්ම මගින් අපේක්ෂා කළ පරිදි සිදු වූ විදේශ විනිමය ලැබීම් හේතුවෙන්, 2021 වසර අවසානය වන විට සංචිත තත්ත්වය එ.ජ. ඩොලර් බිලියන 3කට වඩා ඉහළ ගිය අතර, නුදුරු කාලය තුළ දී ද, එම මට්ටම ණය නොවන සහ මූල්‍යන ප්‍රවාහ තුළින් ක්‍රමානුකූලව ගොඩ නගා ගනිමින් පවත්වා ගෙන යාමට අපේක්ෂිතය. මෙයට අමතරව, පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් විදේශීය ණය ප්‍රතිශතය අඩු විය. එබැවින්, රටේ සමස්ත ණය කළඹට සාපේක්ෂව සංචිත මට්ටම්වල නිරපේක්ෂ වටිනාකම පමණක් සැසඳීම නුසුදුසු ය.

එබැවින්, රජයට ඇති ඉදිරි ණය වගකීම් පියවීම සඳහා විදේශ විනිමය ගලා ඒම් තහවුරු කරගැනීම සම්බන්ධයෙන් රජය සහ මහ බැංකුව විසින් මෑත කාලීනව ලබා ඇති ප්‍රගතියට නිසි පිළිගැනීමක් ලබා දීමට එස් ඇන්ඩ් පී ආයතනය විසින් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සිදු කරන ලද ඇගැයුමේ දී පැහැදිලිව ම අපොහොසත් වී ඇත.

මෙවැනි පසුබිමක් තුළ ඉදිරි කාලපරිච්ඡේදයේ දී රජයට ගෙවීමට ඇති සියලු ම ණය වගකීම් පියවීමට සහ ණය සේවාකරණය සම්බන්ධයෙන් පවතින නිකැළැල් වාර්තාව ඉදිරියටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට නැවත සහතික කිරීමට රජය අපේක්ෂා කරයි. බාහිර ආයතනවලින් සිදු කරන පදනම් විරහිත නිවේදනවලට අවධානය යොමු නොකොට ආයෝජකයන් ශ්‍රී ලංකා රජය සමඟ සෘජුව සම්බන්ධ වීම අගය කරන අතර, නිරන්තර සෘජු සාකච්ඡා පවත්වා ගැනීම සඳහා රජය ආයෝජකයන් හට ආරාධනා කරයි.

Published Date: 

Wednesday, January 12, 2022