අජිත් නිවාඩ් කබ්රාල්

අධිපති

අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ලෙස පත් විය. මෙම පත්වීමට ප්‍රථම, ඔහු 2020 අගෝස්තු මස 12 වන දා සිට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා විය. ඒ මහතා 2019 නොවැම්බර් සිට 2020 අගෝස්තු දක්වා කාලය තුළ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේ ය.

කබ්රාල් මහතා 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වන අධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. එම කාලය තුළ ඔහු:

     - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප අධිපති
     - අග්නිදිග ආසියානු මහ බැංකු (SEACEN) අධිපතිවරුන්ගේ මණ්ඩලයේ සභාපති
     - සාර්ක් මහ බැංකු අධිපතිවරුන්ගේ සංසදයේ සභාපති

ලෙස කටයුතු කළේ ය.

වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු වන ඔහු, වරලත් ගණකාධිකරණ විභාගයන්හි දී ත්‍යාග ගණනාවක් ම ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ළාබාලතම වරලත් ගණකාධිකාරිවරයෙකු ලෙස සුදුසුකම් ලැබූවෙකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ දී ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දළ ‍දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 24 සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 79 දක්වා පරිවර්තනය කළ අතර ශ්‍රී ලංකාව සුරක්ෂිත, ස්ථාවර හා සීඝ්‍රයෙන් වර්ධනය වන මධ්‍යම ආදායම්ලාභී නැගී එන වෙළඳපොළක් සහිත රටක් බවට ද පත් කළේ ය. ඔහු විසින් ඉහළ ඉල්ලුමක් පැවති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ගණනාවක් නිකුත් කිරීම් සඳහා ද නායකත්වය ලබා දෙනු ලැබී ය. කබ්රාල් මහතාගේ මඟ පෙන්වීම අනුව දැඩි ගෝලීය අවිනිශ්චිතතාවක් හා කැලඹීමක් පැවති කාලයක උද්ධමනය අඩු මට්ටමක තබා ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සාක්ෂාත් කර ගනිමින් යහපත් හා ස්ථාවර සාර්ව ආර්ථික මූලධර්මයන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මීට පෙර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ කබ්රාල් මහතා රජයේ ප්‍රතිපත්ති රාමුව හා සංවර්ධන සැලැස්ම සකස් කිරිමේ දී ඒ සඳහා සමීප ව සම්බන්ධ විය. උපායමාර්ගික ව්‍යාපාර කළමනාකරණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරනු ලැබූ ඔහු 2006 පෙබරවාරි මාසයේ දී LTTE සංවිධානය සමඟ ජිනීවා සාකච්ඡාවලට සහභාගී වූ රජයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

රාජ්‍ය සේවයට අවතීර්ණ වීමට පෙර කබ්රාල් මහතා ව්‍යාපාර පුනර්ජීවන හා චක්‍රීකරණ, සැලසුම්කරණය හා ආයතනික පාලනය පිළිබඳ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළේ ය. තව ද ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. කබ්රාල් මහතා 2000 වසරේ පැවති බහුජාතික වැඩසටහනෙහි අයිසන්හවර් සාමාජිකයෙකු ද විය. 1997 සිට 1999 වසර දක්වා ඔහු ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අතර ඔහු විසින් රටට හා ආර්ථිකයට කරනු ලැබූ ඉමහත් සේවය වෙනුවෙන් රාමඤ්ඤ මහා නිකාය මගින් "දේශ කීර්ති ලංකා පුත්‍ර" යන ගෞරව නාමය පිරිනමනු ලැබී ය.

අධිපති කබ්රාල් මහතා විසින් “Towards a Sri Lankan Renaissance” (2002) , “ලක් මවට මුතු පොටක්” (2004) සහ "The Great Bond Scam Cover-up" (2019) යන පොත් ද රචනා කරනු ලැබී ය.

පොතපත කියවීමට දැඩි රුචියක් දක්වන ඔහු චතුර කථිකයෙකු වන අතර අද්විතීය දැක්මක් හා අත්දැකීම් සහිත පුද්ගලයෙකි.