සී. ජේ. පී. සිරිවර්ධන

නියෝජ්‍ය අධිපති

සී. ජේ. පී. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස රාජකාරී කටයුතු ඇරඹූයේ 2017 අගෝසතු මස 19 දින ය. සිරිවර්ධන මහතා එක්සත් රාජධානියේ වෝරික් විශ්ව විද්‍යාලයෙන් (University of Warwick) ප්‍රමාණාත්මක සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද රුහුණ විශ්ව විද්‍යාලයෙන් කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ද ලබා ගෙන ඇත.
ඔහු දැනට බැංකු අධීක්ෂණ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ, රාජ්‍ය ණය, ගෙවීම් හා පියවීම්, මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුව, ලේකම්, තොරතුරු තාක්ෂණ හා ආරක්ෂක සේවා යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරයි. ජාතික ගෙවීම් කවුන්සිලයේ, මූල්‍ය පද්ධති ස්ථායිතා කමිටුවේ හා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වලට අදාල ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතීත්වය දරන අතර, මුදල් ප්‍රතිපත්ති කමිටුව (MPC), අන්තර් නියාමන ආයතන කමිටුව (IRIC) සහ මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුව (NFRMC) යනාදියෙහි සාමාජිකයෙකු ලෙස ද කයටුතු කරයි.
මහ බැංකුවෙහි වසර 31 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, ආර්ථික හා මිල ස්ථායීතාව, මූල්‍ය පද්ධති ස්ථායීතාව සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳව විශේෂ පළපුරුද්දක් දරයි. සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත් වීමට පෙර රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන හා නිරීක්ෂණ, ගෙවීම් හා පියවීම්, සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස ද කටයුතු කර ඇත.
සිරිවර්ධන මහතා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් විවිධ ජාතික සහ ජාත්‍යන්තර සමුළු  රැසකට සහභාගි වී ඇත. තම දිගු කාලීන මහ බැංකු සේවා කාලය තුළ ඒ මහතා අවදානම් කළමනාකරණය, ණය කළමනාකරණය, ආයෝජන කළමනාකරණය, මූල්‍ය ස්ථායිතාවය, මුදල් ප්‍රතිපත්තිය, නායකත්වය සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් රැසකට සහභාගි වී ඇත. විශේෂයෙන්ම ණය කළමනාකරණය සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි තත්ත්වය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සිරිවර්ධන මහතා විසින් නව හඳුන්වාදීම් සිදු කර ඇති අතර සුවිශේෂී දායකත්වයක් සපයා ඇත. ඒ මහතා මේ වන විට ලංකාක්ලියර් පෞද්ගලික සමාගමේ සහ සීමාසහිත කොළඹ නැව් තටාකාංගන සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. සිරිවර්ධන මහතා ලංකා විදුලිබල මණ්ඩලය, ප්‍රොවිඩන්ට් ප්‍රොපර්ටි ලංකා ලිමිටඩ් සහ කඳුරට සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල නිරීක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

සිරිවර්ධන මහතා පිළිගත් දේශීය සහ ජාත්‍යන්තර සඟරා සඳහා රාජ්‍ය මූල්‍ය, ණය කළමනාකරණය සහ බැඳුම්කර වෙළඳපොළ සංවර්ධනය පිළිබඳව ලිපි රැසක් ලියා පළ කර ඇත. ඒ මහතා විවිධ තරාතිරමේ සමුළුවල නිත්‍ය දේශකයෙකු ලෙස කටයුතු කරන අතර මැලේසියාවේ අග්නිදිග ආසියාතික මහ බැංකු පර්යේෂණ සහ පුහුණු කේන්ද්‍රයෙහි (SEACEN Research and Training Centre) පීඨ සභිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.