දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ

ශ්‍රී ලංකාවේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ ස්ථර දෙකකින් සමන්විත වේ.

1. පුද්ගල හෝ සිල්ලර වෙළෙඳපොළ

මෙය ඒක පුද්ගල හෝ ආයතනික ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනුවලින් සමන්විත වේ.

2. අන්තර්බැංකු හෝ තොග වෙළෙඳාම

මෙ මගින් මූලික ව සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත් බලයලත් විදේශ විනිමය වෙළෙඳුන් අතර සංවිධානය වී ඇත. මුදල් හුවමාරුව හරහා බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට මෙම වෙළෙඳපොළ උපකාරී වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ප්‍රධාන කාර්යයන් දෙකකි.

(i)   එක් රටක මුදල් ඒකක වෙනත් රටක මුදල් ඒකකවලට හුවමාරු කිරීම
(ii)  විවිධ ව්‍යුත්පන්න උපකරණ භාවිතයෙන් විදේශ විනිමය අනුපාතිකයේ වෙනස්වීම් මගින් ඇති වන අවදානම් අවම කිරීමට උපකාරී වීම.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඉහත කාර්යයන්

(i)   ආනයන මිලදී ගැනීමට,
(ii)  අපනයන ප්‍රවාහ පරිවර්තනයට,
(iii) අනෙකුත් විදේශ මුදල් ගනුදෙනු සඳහා සහාය වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති ප්‍රධානතම අවදානම

ප්‍රධානතම අවදානම වනුයේ විනිමය අනුපාතිකයේ සිදුවන උච්ඡාවචනයයි.  එනම් එක් මුදල් වර්ගයක් වෙනත් මුදල් වර්ගයකට හුවාමරු කිරීමේ දී භාවිත වන විනිමය අනුපාතිකය දැඩි ලෙස උච්ඡාවචනය වීමයි.
විදේශ විනිමය අනුපාතිකයේ දැඩි උච්ඡාවචනය විදේශ විනිමය වෙළෙඳපොළෙහි අස්ථායීතාවට හේතු වන අතර විදේශ විනිමය වත්කම් සහ වගකීම්වල වටිනාකමට ද බලපෑම් ඇති කරයි.  විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති හුවමාරු, විකල්ප සහ ඉදිරි ගනුදෙනු වැනි ව්‍යුත්පන්න උපකරණ මෙම විනිමය අනුපාතිකයේ උච්ඡාවචනය අවම කිරීමට උපකාරී වේ.
විදේශ විනිමය වෙළෙඳපොළෙහි;

(i)  මුදල් පදනම (Cash basis)

විදේශ මුදල් මිලදී ගැනුම්/විකුණුම් ගනුදෙනු දිනයේ ම සිදු වූ ගනුදෙනු සඳහා වේ.

(ii) Tom basis 

විදේශ මුදල් මිලදී ගැනුම්/විකුණුම් ගනුදෙනු වැඩ කරන ඊළඟ දිනයේ දී  සිදු වූ ගනුදෙනු සඳහා වේ.

(iii) Spot basis 

විදේශ මුදල් මිලදී ගැනුම්/විකුණුම් ගනුදෙනු වැඩ කරන දින දෙකක් තුළ දී  සිදු වූ ගනුදෙනු සඳහා වේ.

(iv) Forward basis

වැඩ කරන දින 2 කට වැඩි කලින් නිශ්චය කරගත් මිලකට අනාගතයේ දිනයක දී විදේශ විනිමය මිල දී ගැනීමට හෝ විකිණීමට ගිවිස ගැනීම සිදුකරන වෙළෙඳපොළ ඉදිරි වෙළෙඳපොළ වේ.

වෙළෙඳපොළෙහි ඇතිවන ඉල්ලුම් හා සැපයුම් බලවේගයන්ගේ ස්වාධීන ගැලපුම් මත විනිමය අනුපාතිකය තීරණය වන පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් 2001 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය.  2012 පෙබරවාරි 09 වැනි දින විදේශ විනිමය ප්‍රතිපත්තිය වෙනස් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකයේ අධික උච්ඡාවචනය පාලනය කිරීම අරමුණු කරගනිමින් මිල ඉලක්කයන් වෙනුවට ප්‍රමාණයන් ඉලක්ක කර ගනිමිනින් වෙළෙඳපොළට මැදිහත්වීම සිදු විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට උපරිම නිරාවරණ සීමාවන් පනවන අතර, වෙළෙඳපොළෙහි වඩාත් සුමට ක්‍රියාකරිත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වඩාත් සමීප ව අධීක්ෂණය කරනු ලැබේ.