බැංකු නො වන මූල්‍ය හා කල්බදු අංශය

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සහ 2000 අංක 56 දරන මූල්‍ය කල්බදුකරණ පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFCs) සහ විශේෂිත කල්බදු සමාගම් (SL) නියාමනය සහ අධීක්ෂණය කිරීමේ අධිකාරය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇත. ව්‍යවස්ථාපිත පරීක්ෂණ (ස්ථානීය අධීක්ෂණය) සහ අඛණ්ඩ අධ්‍යයනය (විතැන් අධීක්ෂණය), නියාමන අනුමැති ලබාදීම, නිර්දේශ හා විචක්ෂණශීලී අවශ්‍යතාවන් නිකුත් කිරීම, තැන්පතු භාර ගැනීම ඇතුළුව නීති විරෝධී මූල්‍ය කටයුතු විමර්ශනය කිරීම ඔස්සේ බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් අධීක්ෂණය සිදුකරනු ලබයි. ප්‍රතිපත්තිමය කරුණු, අනවසර තැන්පතු සහ අසාර්ථක මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ද දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබයි.

බලපත්‍රලාභී මුදල් සමාගම්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති සමාගම්වලට මූල්‍ය ව්‍යාපාර කරගෙන යෑමට බලය ඇත.

බලපත්‍රලාභී මුදල් සමාගම් විචක්ෂණ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන දැඩි නියාමන රාමුවක් මත පදනම් ව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට සහ නියාමනයට යටත් වේ.

විචක්ෂණ අවශ්‍යතාවලට අනුකූල නොවන අවස්ථාවක දී, දඩ පැනවීම, ව්‍යාපාර සීමා කිරීම්, තැන්පතු ආපසු ගෙවීම, බලපත්‍ර අවලංගු කිරීම සහ පොත් පිළිබඳ වැඩිදුර විමර්ශනය වැනි අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මුදල් ව්‍යාපාර පනත ශ්‍රී ලංකා මහ බැංකුවට බලය ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මුදල් සමාගම් ලේඛනය

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයෙහි නිරත වීම සඳහා ලියාපදිංචි වී ඇති සමාගම්.

කල්බදු මූල්‍යකරණ පනත යටතේ “ලියාපදිංචි කල්බදු මුල්‍යකරණ ආයතන” ලෙස ලියාපදිංචි කිරීමට යෝග්‍ය ආයතන කාණ්ඩ හතරක් ඇත. ඒවා නම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වේ. කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි කරන ලද විශේෂිත කල්බදු සමාගම්වල කාර්යයන් නියාමනය සහ අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබයි.

විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්වලට මහජන මුදල් තැන්පතු ලෙස භාර ගැනීමට අවසර ලබා දී නොමැත. කෙසේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතිය ඇති ව, මෙම සමාගම්වලට පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර, ණයකර වැනි ණය උපකරණ නිකුත් කිරීම මගින් අරමුදල් සපයා ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන ලේඛනය