කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ජුනි මාසයේ දී තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මැයි මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.9 දක්වා පහළ ගිය අතර, 2019 ජුනි මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පුර්ණ වශයෙන් දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 9.9හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 10.0 දක්වා ඉහළ ගියේ ය. මේ අත‍ර, ආහාර නො වන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 1.6හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 1.4 දක්වා පහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2020 ජුනි මාසයේ දී සියයට 4.7 ක් ලෙස නො වෙනස් ව පැවතුණි.

2020 ජුනි මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.8ක් ලෙස වාර්තා වූ අතර ආහාර කාණ්ඩයේ අයිතමයන්හි දක්නට ලැබුණු මිල ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. 2020 ජුනි මාසයේ දී ආහාර කාණ්ඩයෙහි, මාළු සහ එළවළු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. කෙසේ වුව ද, මෙම මාසය තුළ දී පොල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගියේ ය. මේ අතර, 2020 ජුනි මාසයේ දී ආහාර නො වන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ද සුළු ඉහළ යෑමක් වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරී උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය 2020 මැයි මාසයේ පැවති සියයට 2.9හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේ ය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 මැයි මාසයේ දී පැවති සියයට 4.4හි සිට 2020 ජුනි මාසයේ දී සියයට 4.2 දක්වා තවදුරටත් පහළ ගිය අතර එය මාස දහතුනකින් වාර්තා වූ අවම අගයයි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Tuesday, June 30, 2020