දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

හිටපු අධිපති (2019-2021)

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස් අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2019 දෙසැම්බර් මස සිට 2021 සැප්තැම්බර් මස දක්වා එම තනතුර හොබවන ලදී.

සිය ද්විතීයික අධ්‍යාපනය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙනුත්, සිය ප්‍රථම උපාධිය ලංකා පේරාදෙණිය විශ්විද්‍යාලයෙනුත් (1960 -64) හිමිකරගත් ඔහු, තම ආර්ථික විද්‍යා උපාධිය දෙවන පන්තියේ ඉහළ ගෞරව සාමාර්ථයක් සහිතව සමත් විය. 1973 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවේදී ආචාර්ය උපාධිය හිමකරගත් මහාචාර්ය ලක්ෂ්මන්, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්ය ධුරය හොබවයි.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස සිය වෘත්තිය දිවිය තමා ඉගෙනුම ලැබූ ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ම ආරම්භ කළ මහාචාර්ය ලක්ෂ්මන් මහතා, 1981 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම මහාචාර්ය පදවියට පත් වූ අතර එම ධුරයෙහි වසර 25කට වැඩි කලක් සේවය කිරීමෙන් අනතුරුව 2007 දී ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයකු ලෙස විශ්‍රාම ගත්තේ ය.

මහාචාර්ය ලක්ෂ්මන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී, පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති (1992 – 94) සහ උපකුලපති යන තනතුරු හොබවා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මහාචාර්යවරයා ලෙස ගෞරව සම්මාන ආචාර්ය උපාධියකින් පිදුම් ලබූ ඒ මහතා, 2005 දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.

මහාචාර්ය ලක්ෂ්මන් මහතා දක්ෂ පර්යේෂකයෙකි. දේශපාලන ආර්ථික විද්‍යාව, දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධනය, දකුණු ආසියාව තුල ජපන් ආයෝජන සහ ශ්‍රී ලංකාව තුල ව්‍යුහාත්මක ගැලපීම් පිළිබඳ ප්‍රතිපත්ති ආදී විවිධ මාතෘකා ඔස්සේ පර්යේෂණ ලිපි රාශීයක් ඒ මහතා විසින් සම්පාදනය කර ඇත. ආර්ථික විද්‍යාව පිළිබඳ ඒ මහතා සම්පාදනය කළ පෙ‍ල පොතක් දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සිසු දරුවන් විසින් පරිශීලනය කරන ලදි. මහාචාර්ය ලක්ෂ්මන් මහතා විසින් සංස්කරණය කෙරුණු ග්‍රන්ථ ද්විත්වය [“Dilemmas of Development: Fifty Years of Economic Change in Sri Lanka” published by Sri Lanka Association of Economists in 1997 සහ “Sri Lanka’s Development since Independence: Socio-Economic Perspectives and Analyses” published by Nova Science Publishers (New York) in 2000] විවිධ අධ්‍යයනයන් හි දී පුළුල් ලෙස උපකාරී කරගත් ග්‍රන්ථ ද්විත්වයකි.

අධ්‍යාපනඥයකු ලෙස සිය වෘත්තීය දිවිය තුල අවස්ථා කිහිපයක දී නෙදර්ලන්තය, ජපානය, යුගොස්ලාවියාව සහ ඉන්දියාව යන රටවල්වල ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයන් හි බාහිර කාථිකාචාර්යවරයකු වශයෙන් මහාචාර්ය ලක්ෂ්මන් මහතා සේවය කර ඇත.

1990 දී මූල්‍ය හා බැංකුකරණය ට අදාල ජනාධිපති කොමිසමේ සාමාජික, 2008 – 09 කාලය තුල මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක, 2008 – 10 ජාතික ආර්ථික කවුන්සිලයේ සාමාජික, 2009 – 10 කාලය තුල බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති, 2010 – 2015 දක්වා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ සභාපති, 2014 – 2019 දක්වා කෑගල්ලේ සණස විශ්විද්‍යාල ආයතනයේ සභාපති සහ 2018 දී සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති විසින් පත්කළ විශේෂඥ කමිටුවේ සභාපති යන තනතුරු මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා විසින් හොබවා ඇත.