දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන (1953 – 1954)

N U Jayawardena

දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන මහ බැංකුවේ දෙවන අධිපතිවරයා වූ අතර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමුවැනි ලාංකික අධිපතිවරයා ද විය. 1953 ජූලි මස සිට 1954 ඔක්තෝබර් මස දක්වා එම තනතුර හෙබවී ය. 

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් හා ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය ලැබ, 1931 වර්ෂයේ ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විද්‍යාවේදී බාහිර උපාධිය ලබා ගැනීමට ජයවර්ධන මහතා සමත් විය.  ඉන් අනතුරු ව ඔහු 1938 වර්ෂයේ ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය හැදෑරී ය.

රජයේ ලිපිකාර නතතුර ඔස්සේ සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ඔහු එවකට ආර්ථික විද්‍යා උපාධියක් හිමි එක ම රජයේ ලිපිකරු ද විය. 1934 වර්ෂයේ පොච්ඛනවාලා කොමිසමේ සහකාර ලේකම් ලෙස පත් වූ ඔහු 1941 වර්ෂයේ ලංකා විශ්වවිද්‍යාලයේ අර්ධකාලීන කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේ ය.  1942 වර්ෂයේ ජෙනරාල් වෝ සප්ස්ලයිස් හි සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 1947  වර්ෂයේ වැඩ බලන විනිමය පාලක ලෙස පත් විය. ඉන් අනතුරු ව 1949 වර්ෂයේ ආනයන හා අපනයන පාලක නතතුරට පත් විය.

ලංකාවේ මහ බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා එක්ස්ටර් වාර්තාව සැකසීමේ දී ජෝන් එක්ස්ටර් මහතා විසින් විනිමය පාලක ලෙස ජයවර්ධන මහතාගේ අදහස් ද සැලකිල්ලට ගෙන ඇත.  අලුතින් ස්ථාපිත මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හිමි වූ ජයවර්ධන මහතාට ජෝන් එක්ස්ටර් අධිපතිවරයා සමඟ කිට්ටුවෙන් වැඩ කිරීමේ දුලබ අවස්ථාව හිමි වුනි.  මෙ මඟින් ඔහු ලද අත්දැකීම් ජෝන් එක්ස්ටර් මහතාගෙන් පසු 1953 වර්ෂයේ අධිපති තනතුර භාර ගැනීමේ දී මහත් පිටිවහලක් විය.

මහ බැංකු සේවයෙන් පසු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු කිහිපයක් හෙබ වූ ඔහු සෙනට් සභිකයෙකු ලෙස ද තේරී පත් විය.  පෞද්ගලික අංශයේ සේවය කළ අවධියේ රටේ මූල්‍ය අංශය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ ඔහු මර්කන්ටයිල් සමූහ ව්‍යාපාරය ආරම්භ කළ අතර 1987 දී පිහිටුවන ලද සම්පත් බැංකුවේ නිර්මාතෘවරයා ද විය.

ශ්‍රී ලංකා රජය විසින් 1991 වර්ෂයේ ඔහුට ‘දේශමාන්‍ය‘ ගෞරව නාමය ප්‍රදානය කරන ලදී.