ශ්‍රීමත් ආතර් රණසිංහ (1954 – 1959)

Sir Arthur Ranasinghe

ශ්‍රීමත් ආතර් ගොඩ්වින් රණසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ තෙ වන අධිපතිවරයා වූ අතර 1954 ඔක්තෝබර් මස සිට 1959 ජූනි මස දක්වා එම තනතුර හෙබවී ය. 

කොළඹ ශාන්ත තෝමස් හා එංගලන්තයේ කේම්බ්‍රිජ් ට්‍රිනිටි හෝල් හි අධ්‍යාපනය ලද ශ්‍රීමත් ආතර් රණසිංහ, ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වලාභියෙකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියක් හිමි කර ගත් ඔහු 1920 වර්ෂයේ ඉන්දියානු සිවිල් සේවා විවෘත විභාගයට මුහුණ දී 1921 වර්ෂයේ ලංකා සිවිල් සේවයට එක්වෙමින් සිය වෘත්තීය දිවිය ඇරඹී ය.

කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සැලකුන ශ්‍රීමත් රණසිංහ රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු කිහිපයක් ම හෙබවූ නිලධාරියෙකි. වර්ෂ 1923 සිට 1928 දක්වා පේදුරුතුඩුව, බලපිටිය හා යාපනය ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ඔහු 1928 – 1930 දක්වා අවිස්සාවේල්ලේ ද, 1930 – 1932 දක්වා බදුල්ලේ ද දිසා විනිසුරු ලෙස කටයුතු කළේ ය.  1933 – 1936 දක්වා ඉඩම් හා කෘෂිකාර්මික අමාත්‍යාංශයේ ලේකම් තනතුර හෙබ වූ ඔහු ඉන්පසු 1936 – 1944 දක්වා වසර 8 ක් මහා භාරකාර ලෙස කටයුතු කළේ ය. එම කාලය තුළ වසර 5ක් දෙවන ලෝක යුද්ධය නිසා රජයට පවරා ගත් දේපළ සම්බන්ධ භාරකරු ලෙස ද ඔහු කටයුතු  කළේ ය. වර්ෂ 1944 සිට 1946 දක්වා ජන සංගණන අධිකාරී තනතුර හෙබ වූ ඔහු වර්ෂ 1946 සිට 1947 දක්වා ඉඩම් කොමසාරිස් තනතුර හෙබවී ය. කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් (1947 – 1950), මුදල් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්, භාණ්ඩාගාර ලේකම් හා අමාත්‍ය මණ්ඩල ලේකම් (1950 – 1954) ආදී රාජ්‍ය අංශයේ විවිධ තනතුරු දරා ඔහු ලද අත්දැකීම්, මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමේ දී ඔහුට රුකුලක් වූ අතර වසර 5ක කාලයක් මහ බැංකු අධිපති ධුරය හෙබවී ය. මහ බැංකුවේ සේවය නිම කිරීමෙන් පසු 1959 වර්ෂයේ සිට 1961 වර්ෂය දක්වා ඉතාලියේ සහ ග්‍රීසියේ තානාපති ලෙස ද සේවය කළේ ය.

රණසිංහ මහතාගේ සේවය අගය කිරීමක් ලෙස 1954 දී එංගලන්ත මහ රැජින විසින් නයිට් නාමයක්  ප්‍රදානය කරන ලදී.