අර්ජුන මහේන්ද්‍රන්

හිටපු අධිපති (2015-2016)

ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ දහතුන්වන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2015 ජනවාරි මස සිට 2016 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී. 

මහේන්ද්‍රන් මහතා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බේලියල් විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය (1982) හා ශාස්ත්‍රපති උපාධිය (1987) හිමි කර ගත්තේ ය. 1983 වසරේ මාණඩලික නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට එක් වී පළමුවෙන් ම දත්ත සැකසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත ව සේවය කළේ ය. 1985 වසරේ සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස් ගත වූ ඔහු නැවත පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එක්වුනි. 

ආයතන කිහිපයක් වෙනුවෙන් සිය සේවය ලබා දීම සඳහා ඔහු මහ බැංකු සේවයෙන් අවස්ථා කිහිපයක දී ම නිදහස් කළේ ය. 1995 මහ බැංකු සේවයෙන් ඉවත් වීමෙන් පසු විවිධ ආයතනයන්හි ඉහළ තනතුරු හෙබ වූ මහේන්ද්‍රන් මහතා එස්.ජී සෙකියුරිටීස්හී ආසියානු හා දකුණු ආසියානු කලාපීය ආර්ථික පර්යේෂණ ප්‍රධානියා ලෙස, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලෙස හා ක්‍රෙඩිට් ස්වීස් පෞද්ගලික බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ - උපායමාර්ගික සැලසුම්කරු ලෙස සේවය කළ අතර එමිරේට්ස් එන්.බී.ඩී හා එච්.එස්.බී.සී පෞද්ගලික බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන ආයෝජන නිලධාරියා ලෙස ද සේවය කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ අවධියේ 2003 වර්ෂයේ දී ඔහු Euromoney Strategic Direct Investor’s “CEO Lifetime Achievement Award” සම්මාන ප්‍රධානයේ දී දෙවැනි ස්ථානයට පත් විය. 

මහේන්ද්‍රන් මහතා සී.එන්.බී.සී., සී.එන්.එන්. හා බී.බී.සී රූපවාහිනි නාළිකාවල නිත්‍ය විචාරකයකු ලෙස කටයුතු කර ඇති අතර, බ්ලූම්බර්ග්, ද ෆයිනෑන්ෂල් ටයිම්ස්, ඒෂියන් වෝල් ස්ට්‍රීට් ජර්නල් හා ෆෝබ්ස් සඟරාවන් සමඟ වෙළෙඳපොළ පිළිබඳ සිය අදහස් හුවමාරු කරගැනීමේ ද නිරත වී ඇත.