නිතර අසනු ලබන ප්‍රශ්න

දේශීය මෙහෙයුම් කටයුතු

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු කුමක්ද?

මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යනු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලබන මුදල් ප්‍රතිපත්තිමය තීරණ විවිධ මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරමින් ක්‍රියාවට නැංවීමයි.

විවට වෙළඳපොළ කටයුතු යනු කුමක්ද?

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 90 වැනි වගන්තිය යටතේ මුදල් වෙළඳපොළට ද්‍රවශීලතාව සැපයීම හෝ මුදල් වෙළඳපොළ වෙතින් ද්‍රවශීලතාව අවශෝෂණය සඳහා මහ බැංකුව, සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම විවට වෙළඳපොළ කටයුතු ලෙස හැඳින් වේ. ඒ අනුව, විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුව විසින් යොදා ගන්නා ප්‍රධානතම වෙළඳපොළ පදනම් කරගත් මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් උපකරණය වන අතර, එය රාජ්‍ය සුරැකුම්පත් සහ /හෝ මහ බැංකු සුරැකුම්පත් භාවිතා කොට වෙළඳපොළ ද්‍රවශීලතාව කළමනාකරණය තුළින් කෙටිකාලීන පොලී අනුපාතිකවලට බලපෑම් කිරීම සඳහා යොදා ගනු ලබයි.

විවට වෙළඳපොළ කටයුතු ක්‍රියාත්මක වන්නේ කෙසේද?

විවට වෙළඳපොළ කටයුතු මඟින් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබන අතර, එමඟින් කෙටිකාලීන පොලී අනුපාතිකවල හැසිරීම මෙන්ම, අනෙකුත් දිගුකාලීන පොලී අනුපාතික සහ වත්කම් මිල ගණන් කෙරෙහිද බලපෑම් ඇති කරනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තැන්පතු සහ ණය පොලී අනුපාතික වැනි අනෙකුත් පොලී අනුපාතික ද බලපෑමට ලක් වන අතර, එමඟින් කුටුම්බ සහ ව්‍යාපාරවල ඉතුරුම් සහ වියදම් පිළිබඳ තීරණ කෙරෙහි බලපෑම් ඇති කෙරේ. එමඟින් අවසාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සහ මිල මට්ටම කෙරෙහි බලපෑම් ඇති කෙරේ.

විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ කවුද?

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගිවීමට සුදුසුකම් ලබන අතර, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්ට (බැංකු හැර ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස පත් කරන ලද සමාගම්) සහ සේවක අර්ථසාධක අරමුදලට සීමිත වශයෙන් විවට වෙළඳපොළ කටයුතු සඳහා සහභාගි විය හැකිය. මෙම ආයතන පොදුවේ සහභාගිත්ව ආයතන ලෙස හඳුන්වනු ලැබේ.

ඒක්ෂණ මුදල් වෙළඳපොළ යනු කුමක්ද?

අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සාමාන්‍යයෙන් සිය කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුරැකුම්පත් රහිතව අරමුදල් ණයට ගනු ලබන සහ අරමුදල් සපයනු ලබන වෙළඳපොළයි. මෙම ගනුදෙනු කෙටිකාලීන පදනමක් මත සිදු කෙරෙන අතර, මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතා ඉල්ලුම සහ සැපයුම එමඟින් පෙන්නුම් කරනු ලබයි.

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය යනු කුමක්ද?

බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) යනු බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් සිදු කෙරෙන එක්දින ඒක්ෂණ මුදල් ගනුදෙනුවල බර තබන ලද සාමාන්‍ය පොලී අනුපාතිකයයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ඉලක්කය ලෙස ක්‍රියා කරයි. බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබයි.

ප්‍රතිමිලදීගැනුම් වෙළඳපොළ යනු කුමක්ද?

ප්‍රතිමිලදීගැනුම් (Repurchase/Repo) වෙළඳපොළ යනු බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සහ සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන විසින් අරමුදල් අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ සුරැකුම්පත් මත පදනම්ව කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීමට උපයෝගී කරගනු ලබන වෙළඳපොළයි.

බරිත සාමාන්‍ය ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය යනු කුමක්ද?

බරිත සාමාන්‍ය ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය (Average Weighted Repo Rate) යනු සහභාගිත්ව ආයතන අතර සිදුවන එක්දින ප්‍රතිමිලදීගැනුම් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතිකයයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව ගණනය කර ප්‍රකාශයට පත් කරනු ලබයි.

මහ බැංකු ද්‍රවශීලතාව යනු කුමක්ද සහ එය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වන්නේ ඇයි?

මහ බැංකු ද්‍රවශීලතාව (Central Bank Liquidity) යනු, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් තම සංචිත අවශ්‍යතාව සපුරාලීම සඳහා සහ පියවීම් කටයුතු සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යනු ලබන සංචිත ගිණුම්වල ශේෂයන්ගේ එකතුව ලෙස හැඳින්විය හැකිය. බලපත්‍රලාභී වාණිජ බැංකුවල සංචිත ගිණුමේ තබාගත යුතු අරමුදලවලින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවට වඩා වැඩි හෝ අඩු සංචිත ප්‍රමාණය අතිරික්ත ද්‍රවශීලතාව හෝ හිඟ ද්‍රවශීලතාව ලෙස හඳුන්වනු ලැබේ. නියමිත දිනයකදී, බලපත්‍රලාභී වාණිජ බැංකු මහ බැංකුවේ පවත්වා ගත යුතු තැන්පතු ප්‍රමාණය සංචිත ගිණුමේ පවත්වාගෙන යා යුතු ශේෂයට වඩා ඉහළ (පහළ) අගයක් ගන්නා අවස්ථාවකදී බැංකු පද්ධතිය අතිරික්ත (හිඟ) ද්‍රවශීලතා තත්ත්වයක් පවතී. එම අතිරික්ත හෝ හිඟ ද්‍රවශීලතාව මත පදනම්ව, වර්තමාන මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ඉලක්කය වන බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුව අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමට මෙන්ම, එහි දිශානතිය තීරණය කිරීම සඳහා මහ බැංකුව යෝග්‍ය උපකරණ භාවිතා කරමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ තීරණ ගනු ලබයි.

ද්‍රවශීලතාව වැඩිවීම සහ අඩුවීම සඳහා බලපාන සාධක මොනවාද?

ද්‍රවශීලතාව ඉහළ නංවන ප්‍රධාන සාධක :

අ) මහ බැංකුව විසින් විවට වෙළඳපොළ (ප්‍රතිමිලදී ගැනීම් වෙන්දේසි) හරහා ද්වීතීයීක වෙළඳපොළෙන් බිල්පත්/බැඳුම්කර මිලදී ගැනීම

ආ) මහ බැංකුව විසින් විවට වෙළඳපොළ වෙන්දේසි හරහා භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ස්ථිර පදනම මත මිලදී ගැනීම

ඇ) මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

ඈ) මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම සැපයීම

ඉ) මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම

ඊ) රජයට ලැබුණු විදේශ ණය ආදී ලැබීම් යටතේ වූ විදේශ විනිමය මහ බැංකුව විසින් මිලදී ගැනීම

උ) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුවේ මුදල් තැන්පත් කිරීම

ඌ) මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම

එ) මහ බැංකුවේ ලාභ රජය වෙත පැවරීම

ඒ) මහ බැංකුව විසින් රජයට තාවකාලික අත්තිකාරම් ලබාදීම

ඔ) මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත ණය සහ අත්තිකාරම් ලබාදීම

 ද්‍රවශීලතාව අඩු කරනු ලබන ප්‍රධාන සාධක වන්නේ :

අ) මහ බැංකුව විසින් විවට වෙළඳපොළ (ප්‍රතිවිකුණුම් වෙන්දේසි) හරහා ද්විතීයීක වෙළඳපොළට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම

ආ) මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර) විවට වෙළඳපොළ වෙන්දේසි හරහා ස්ථාවර පදනම මත විකිණීම

ඇ) මහ බැංකුව විසින් මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම

ඈ) මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම සැපයීම

ඉ) මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ විදේශ විනිමය විකිණීම

ඊ) රජයේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම සඳහා මහ බැංකුව රජය වෙත විදේශ විනිමය විකිණීම

උ) බලපත්‍රලාභී වාණිජ බැංකු මහ බැංකුවෙන් ඔවුන්ගේ මුදල් ආපසු ලබා ගැනීම

ඌ) මහ බැංකුව සතු රාජ්‍ය සුරැකුම්පත් කල්පිරීම හෝ නියමිත කාලයට පෙර කල්පිරීමට සැලැස්වීම

එ) මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතන වෙත සපයන ලද ණය හා අත්තිකාරම් ආපසු ගෙවීම

දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම යනු කුමක්ද?

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ (Real Time Gross Settlement System) සුමට ක්‍රියාකාරිත්වය උදෙසා මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනවලට, එනම් ලංකාසෙට්ල් පද්ධතියේ සෘජු අලෙවිකරුවන් සඳහා දිනය ඇතුළත යළි ගෙවීම සඳහා පොලී රහිතව හා ඇප සුරැකුම් සහිතව ලබාදෙන අරමුදල්, දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම (Intraday Liquidity Facility) යනුවෙන් අදහස් කෙරේ.

ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම් වෙන්දේසි යනු කුමක්ද?

ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන්නේ දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව තාවකාලිකව අවශෝෂණය කරගැනීමට හෝ ද්‍රවශීලතාව සැපයීම සඳහාය. දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි ද, ද්‍රවශීලතාව සැපයීම සඳහා ප්‍රතිවිකුණුම් වෙන්දේසි ද පවත්වනු ලැබේ. ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි යටතේ මහ බැංකුව රජයේ සුරැකුම්පත් තාවකාලික පදනමින්, එනම් එකඟ වූ දින ගණනකින් පසු නැවත මිලදී ගැනීමේ ගිවිසුමක් යටතේ විකුණනු ලැබේ. ප්‍රතිවිකුණුම් වෙන්දේසි යටතේ මහ බැංකුව රජයේ සුරැකුම්පත් තාවකාලික පදනමින් එනම් එකඟ වූ දින ගණනකින් පසු නැවත විකිණීමේ ගිවිසුමක් යටතේ මිලදී ගනු ලැබේ. වෙළඳපොළෙහි පවතින ද්‍රවශීලතා මට්ටම අනුව වෙන්දේසියේ කාලසීමාව තීරණය වේ (එක්දින ප්‍රතිමිලදීගැනුම්/ප්‍රතිවිකුණුම්, දින 7 ට අඩු - කෙටිකාලීන ප්‍රතිමිලදී ගැනුම්/ප්‍රතිවිකුණුම්, දින 7 ට වැඩි දින 90 දක්වා - දිගුකාලීන ප්‍රතිමිලදීගැනුම්/ ප්‍රතිවිකුණුම්).

ස්ථිර පදනම මත පවත්වනු ලබන වෙන්දේසි යනු මොනවාද?

දිගුකාලීන අතිරික්ත හෝ හිඟ ද්‍රවශීලතාවට පිළියම් ලෙස ද්‍රවශීලතාව ස්ථිර පදනමින් අවශෝෂණය කරගැනීම හෝ සැපයීම සඳහා ස්ථිර පදනම මත වෙන්දේසි පවත්වනු ලැබේ. දිගු කලක් පුරා වෙළඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව ඉතා ඉහළ අගයක පවතින්නේ නම් මහ බැංකුව තමා සතු භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ස්ථිර පදනමින් ද්විතීයීක වෙළඳපොළෙහි අලෙවි කොට ද්‍රවශීලතාව ස්ථිර පදනමින් අවශෝෂණය කරනු ලබයි. එසේම, ද්‍රවශීලතාව ස්ථිරව සැපයීම සඳහා මහ බැංකුව රාජ්‍ය සුරැකුම්පත් ස්ථිර පදනමින් ද්විතීයීක වෙළඳපොළෙන් මිලදීගැනීම සිදු කර ද්‍රවශීලතාව ස්ථිර පදනමින් වෙළඳපොළට සපයනු ලබයි.

ද්‍රවශීලතා ආධාරක පහසුකම යනු කුමක්ද?

ද්‍රවශීලතා ආධාරක පහසුකම (Liquidity Support Facility) යනු දේශීය මුදල් වෙළඳපොළ සුමටව ක්‍රියාත්මක වීම සහ ද්‍රවශීලතා හිඟයක් පවතින අවස්ථාවලදී මුදල් වෙළඳපොළ පොලී අනුපාතිකය මත ඇති වන අනවශ්‍ය පීඩනය ඉවත් කිරීම සඳහා මහ බැංකුව විසින් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් හට ලබාදෙන පහසුකමකි.

සහභාගිත්ව ආයතන සඳහා වන විවට වෙළඳපොළ වෙන්දේසි මොනවාද?

ද්‍රවශීලතා තත්ත්ව මත පදනම්ව විවට වෙළඳපොළ කටයුතු යටතේ මහ බැංකුව විවිධ වෙන්දේසි වර්ග පවත්වනු ලබයි.

වෙන්දේසි වර්ගය
අරමුණ
සුදුසුකම් ලබන පාර්ශ්වකරුවන්
කාලසීමාව
එක්දින ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි එක්දින පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය බලපත්‍රලාභී වාණිජ බැංකු සහ සේවක අර්ථසාධක අරමුදල (සේවක අර්ථසාධක අරමුදල ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 1
එක්දින ප්‍රතිවිකුණුම් වෙන්දේසි එක්දින පදනමින් ද්‍රවශීලතාව සැපයීම
එක්දින ද්‍රවශීලතා ආධාරක පහසුකම එක්දින පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 1
කෙටිකාලීන ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 2 – 7 දක්වා
කෙටිකාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම
කෙටිකාලීන ද්‍රවශීලතා ආධාරක පහසුකම කෙටිකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 2 - 7 දක්වා
දිගුකාලීන ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) දින 7 ට වැඩි
දිගුකාලීන ප්‍රතිවිකුණුම් වෙන්දේසි දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම
දිගුකාලීන ද්‍රවශීලතා ආධාරක පහසුකම දිගුකාලීන පදනමින් ද්‍රවශීලතාව සැපයීම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් දින 7 ට වැඩි
ස්ථිර පදනමින් රජයේ සුරැකුම්පත් විකිණීමේ වෙන්දේසි ස්ථිර පදනමින් ද්‍රවශීලතාව අවශෝෂණය කිරීම බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන්, සේවක අර්ථසාධක අරමුදල (ප්‍රතිමිලදීගැනුම් වෙන්දේසි සඳහා පමණි) අදාළ නොවේ
ස්ථිර පදනමින් රජයේ සුරැකුම්පත් මිලට ගැනීමේ වෙන්දේසි ස්ථිර පදනමින් ද්‍රවශීලතාව සැපයීම

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යනු කුමක්ද?

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 93 වැනි වගන්තිය ප්‍රකාරව සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින්ම සිය මුළු රුපියල් තැන්පතු වගකීම්වලට අනුපාතික වශයෙන්, මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන සංචිත ගිණුමේ රඳවා ගත යුතු අවම සංචිත අවශ්‍යතා අනුපාතය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (Statutory Reserve Ratio) ලෙස හැඳින්වේ.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ගණනය කිරීමේදී සලකා බලනු ලබන තැන්පතු වර්ග මොනවාද?

රුපියල්වලින් නාමනය කරනු ලබන ඉල්ලුම් තැන්පතු, කාලීන හා ඉතුරුම් තැන්පතු සහ වෙනත් තැන්පතු ද මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වරින්වර තීරණය කරනු ලබන වෙනත් තැන්පතු වර්ග ද ඇතුළත් විය හැකිය.

බැංකු අනුපාතිකය යනු කුමක්ද?

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 86 සහ 87 වගන්ති යටතේ අවසාන ණය දෙන්නා ලෙස බැංකු ආයතන සඳහා හදිසි ණය ලබාදෙන අනුපාතිකය ‘බැංකු අනුපාතිකය‘ ලෙස හැඳින්වේ. වර්තමානයේ මහ බැංකුව විසින් බැංකු අනුපාතිකය තීරණය කරනු ලබන්නේ පදනම් අනුපාතිකයකට ආන්තිකයක් එකතු කිරීමෙනි. (එනම් බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය + පදනම් අංක 300)

මහ බැංකුවේ ද්‍රවශීලතා ආධාරක පහසුකම (Liquidity Assistance Facility) යනු කුමක්ද?

මුදල් නීති පනතේ 82 සහ 83(1) (C) වගන්ති යටතේ, බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා පොරොන්දු නෝට්ටුවක් මඟින් සුරක්ෂිත කරන ලද රජයේ සුරැකුම්පත් ඇප වශයෙන් තබා දින 180 නොඉක්මවන ඕනෑම ස්ථාවර කාලසීමාවක් සඳහා මහ බැංකුවෙන් මෙම ණය පහසුකම ලබාගැනීමට හැකියාව ඇත.

රජයට සපයනු ලබන තාවකාලික අත්තිකාරම් යනු කුමක්ද?

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 89 වැනි වගන්තියට අනුව, රජයේ ඒකාබද්ධ අරමුදලින් දරනු ලබන වියදම් මූල්‍යනය කිරීම සඳහා මහ බැංකුව විසින් රජයට තාවකාලික අත්තිකාරම් සපයනු ලැබේ. රජය විසින් සය මසකට නොවැඩි කාලසීමාවක් තුළ නැවත ගෙවා නිම කළ යුතු මෙම අත්තිකාරම් ප්‍රමාණය, අදාළ මූල්‍ය වර්ෂය තුළ රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් සියයට දහය (10%) නොඉක්මවිය යුතුය.

රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද?

1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 106 සිට 109 දක්වා වන වගන්තිවලට අනුව මහ බැංකුව රජයේ බැංකුකරු වශයෙන් රජයේ සහ රාජ්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යෑම, අදාළ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත අදාළ ගිණුම්වල ගෙවීම් පියවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ මුදල් නීති පනතේ 89 වැනි වගන්තිය ප්‍රකාරව රජයට තාවකාලික අත්තිකාරම් ලබාදීම සිදු කරයි.

වාණිජ බැංකුවල බැංකුකරු ලෙස මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද?

බැංකුවල බැංකුකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවීම් සහ පියවීම් පද්ධතිය සඳහා පහසුකම් සලසමින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල පියවීම් ගිණුම් පවත්වාගෙන යනු ලබයි. එම බැංකුවලට සපයනු ලබන පියවීම් පහසුකම් සම්බන්ධව, ශ්‍රී ලංකා මහ බැංකුව, තත්කාලීන දළ පියවීම් පද්ධතිය හරහා ඡායාගත චෙක්පත් පිළිඹිබු නිෂ්කාශන පද්ධතිය (CITS), ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS), ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය (CAS), විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය (CEFTS) යන පද්ධති තුළින් වාණිජ බැංකු අතර ශුද්ධ පියවීම් සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම කටයුතු දේශීය මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව සඳහා දායක වේ.

බලයලත් මුදල් තැරැව්කරුවකු යනු කවුරුන්ද?

බලයලත් මුදල් තැරැව්කරුවකු (Authorized Money Broker) යනු මුදල්, විදේශ විනිමය සහ රජයේ සුරැකුම්පත් වෙළඳපොළෙහි අතරමැදියකු වන අතර, සහභාගිත්ව ආයතන අතර සිදුවන ගනුදෙනු සඳහා පහසුකම් සපයන්නා ලෙස ක්‍රියා කරයි. ඔවුන් ගනුදෙනුවකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් නොමැතිව නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරන නමුත් තැරැව්කාර ගාස්තුවක් සඳහා වෙළඳපොළ සහභාගිත්ව ආයතන අතර ගිවිසුම් සාකච්ඡා කිරීම, සංවිධානය කිරීම හෝ පහසුකම් සැලසීම සිදු කරයි. එබැවින්, බලයලත් මුදල් තැරැව්කරුවන් මුදල් වෙළඳපොළේ මිල සොයා ගැනීමේ ක්‍රියාවලියට සහාය වන අතර වෘත්තීමය ක්‍රියාකාරිත්වයන් සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් එම ආයතන නියාමනය කරනු ලබයි.

මුදල් තැරැව්කරණ සමාගම් කොපමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේද?

2022.12.31 වන දිනට මුදල් තැරැව්කරණ සමාගම් නවයක් (09) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

  1. බී එම් ආර් මනි බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
  2. සෙන්ට්‍රල් ෆොරෙක්ස් ඇන්ඩ් මනි බ්‍රෝකර්ස් ලිමිටඩ්
  3. ෆස්ට් එලායන්ස් මනි බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
  4. ජෝර්ජ් ස්ටුවර්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
  5. එම් වී එස් මනි බ්‍රෝකර්ස් ලිමිටඩ්
  6. පිගට් චැප්මන් ඇන්ඩ් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්
  7. එස් එම් බී මනි බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
  8. තැප්‍රොබේන් ඉන්වෙස්ට්මන්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්
  9. විෂ්වින් මනි ඇන්ඩ් එක්ස්චේන්ජ් බ්‍රෝකර්ස් ලිමිටඩ්