ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික වෙළෙඳ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්හි පරීක්ෂණ වාර්තාව සඳහා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබුණි.
මෙම වාර්තාව මහජනතාව වෙත නිකුත් කර ඇත්තේ නිසි අවසරයකින් තොරවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් එම වාර්තාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර ක්‍රියාවලිය සම්පූර්ණ කර එහි අවසන් වාර්තාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැත. මෙම අනවසර හෙළිදරව් කිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව තම අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කර ඇති අතර මෙම වාර්තාව අනවසර ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නීති බලගැන්වීමේ අධිකාරීන්වලට දැනටමත් පැමිණිලි කොට ඇත.









2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වී ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කළ්‍යාණි දහනායක සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය එච් අමරතුංග විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.