• SL Purchasing Managers’ Index (PMI) for Construction Industry – July 2023

    ඉදිකිරීම් කටයුතුවල පවතින දුර්වල ක්‍රියාකාරීත්වය තුළ 2023 ජූලි මාසය තුළදී ඉදිකිරීම් කටයුතු සඳහා වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 43.2ක අගයක් වාර්තා කරන ලදී. මෙහිදී, පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බොහෝ සමාගම් සිය ව්‍යාපාරික පැවැත්ම ආරක්ෂාකරගැනීම සඳහා උත්සාහ ගනිමින් සිටින බව සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, ක්‍රමයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල පහත වැටීම, සීමිත මට්ටමින් වුවද ක්‍රියාත්මකවන ඉදිකිරීම් සඳහා රුකුලක් වී ඇත. තවද, තාවකාලික වශයෙන් අත්හිටුවා තිබූ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් ද ජූලි මාසය තුළදී සුළු වශයෙන් වුවද නැවත ආරම්භ කර ඇත.

    පසුගිය මාසයට සාපේක්ෂව අඩු මට්ටමෙන් වුවද නව ඇණවුම් ජූලි මාසය තුළදී ද පහත වැටුණි. මෙහිදී, ටෙන්ඩර් අවස්ථා බොහෝදුරට විදේශ අරමුදල් සහිත ව්‍යාපෘති කිහිපයකට සිමා වී ඇති අතර, පෞද්ගලික සේවාදායකයින් ද ඉදිකිරීම් වියදම් තවදුරටත් පහළ යන තෙක් ආයෝජන පමාකරන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී. එසේම, දැනට ව්‍යපෘතිවල නිරතව සිටින සමාගම් සතු අතිරික්ත ධාරිතාවය හේතුවෙන් අනෙකුත් සමාගම්වලට උපකොන්ත්‍රාත් ලබාදීම ද සිමා වී ඇත. මේ අතරතුර, සමාගම් විසින් තමාට අත්‍යවශ්‍ය සේවකයින් පමණක් රඳවා ගැනීමට කටයුතු කරන බැවින් සේවා නියුක්තිය ද ජූලි මාසය තුළදී පහත වැටුණි. තවද, බොහෝ සමාගම් ආයෝජන පමාකරන වාතාවරණය තුළ කෙටිකාලීන අවශ්‍යතා සඳහා පමණක් සීමිතව මිලදී ගැනීම් සිදු කිරීම හේතුවෙන් තොග මිලදී ගැනුම් ද ජූලි මාසය තුළදී පහත වැටුණි. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ස්ථාවර මට්ටමක පැවතුනු අතර සමහර සැපයුම්කරුවන් නැවතත් ණයට භාණ්ඩ සැපයීමට ද නැඹුරුවක් දක්වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

    ප්‍රධාන වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම, පොලි අනුපාතික සහ අමුද්‍රව්‍ය සඳහා වියදම් පහත වැටීම සහ දැනට අත්හිටුවා ඇති රජයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා පවතින සාකච්ඡා හේතුවෙන් සමාගම්වල ඉදිරි මාස තුන පිළිබඳ ව්‍යාපාර අපේක්ෂා යහපත් මට්ටමක පැවතුණි.

  • Raising Awareness on Domestic Debt Optimisation Programme

    2023 අගෝස්තු මස 28 වන අද දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී. ‍ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් ‍කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව ‍වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි.

  • Public Complaints on Unlawful Pyramid Schemes

    මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත  දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක්  මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. 

  • The Central Bank of Sri Lanka maintains policy interest rates at their current levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අගෝස්තු මස 23 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ මුදල් තත්ත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් කිරීම සහ දේශීය මෙන්ම ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වීම සහ වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් වේගයෙන් අඩු වීම සඳහා අවකාශය ලබා දීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලදී.

  • Release of ‘Economic and Social Statistics of Sri Lanka – 2023’ Publication

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, වාර්ෂික ප්‍රකාශනයක් වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2023” මහජනතාවගේ පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් පළ කරන මෙම පොතෙහි ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කරන ලද සංඛ්‍යාන වගු ඇතුළත් වේ. එනම්, ‘ජාතික නිෂ්පාදිතය’, ‘වියදම සහ ආදායම', ‘ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳ හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය කටයුතු', 'මුදල්, පොලී අනුපාතික සහ ප්‍රාග්ධන වෙළඳපොළ', ‘මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය' සහ අනෙකුත් රටවල සංඛ්‍යාන වශයෙනි. මෙම ප්‍රකාශනය, සමාජ හා ආර්ථික සංඛ්‍යාන පිළිබඳව උනන්දු වන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වනු ඇත.

  • Land Valuation Indicator – First Half of 2023

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයේ දී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගියේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ඉහළ යාම පිළිවෙලින් සියයට 17.2, 15.1 සහ 13.5 ක් වූ අතර එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා හේතු විය. අර්ධ වාර්ෂික පදනමින්, 2022 දෙවන භාගයට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 4.9 කින් වැඩි විය. මෙම වැඩිවීම සඳහා ඉහළම දායකත්වය නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙන් ලබා දී ඇති අතර අනුපිළිවෙලින් වාණිජ හා කාර්මික අනු දර්ශක ද මේ සඳහා දායක විය. කෙසේ වෙතත්, 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකයේ අර්ධ වාර්ෂික වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබුණි.

  • Regulations on Financial Consumer Protection

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය ප්‍රකාරව 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණය පිළිබඳ රෙගුලාසි නිකුත් කරන ලද අතර එය 2023.08.09 දිනැති අංක 2344/17 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම රෙගුලාසි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය සේවා සපයන්නන් සඳහා ඒකාකාරීව අදාළ වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමු, විශේෂයෙන් බැංකු පනත, මූල්‍ය ව්‍යාපාර පනත සහ කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කර ඇති මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ විධානයන් ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. තවද, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් සැලකිල්ලට ගෙන ගොඩ නගා ඇති මෙම රෙගුලාසි මඟින් ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය සහ ස්ථාවර මූල්‍ය පද්ධතියක් වැඩි දියුණු කිරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සිදු කරනු ලබන වෙළෙඳපොල හැසිරීම් අධීක්ෂණය සඳහා අවශ්‍ය පදනම ස්ථාපිත කර ඇත.

  • Settlement of Exchange of Outstanding Eligible Sri Lanka Development Bonds (SLDBs) for Five (5) New LKR Treasury Bonds pursuant to the Domestic Debt Optimisation Programme (DDO)

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2023 ජුලි 04 වන දින ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු යෝජනාව සහ ඉන් අනතුරුව නිවේදනය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව, (හුවමාරු යෝජනාවේ අර්ථ දක්වා ඇති පරිදි) හුවමාරුව සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (සුදුසුකම් ලත් බැඳුම්කර), නව විචල්‍ය කූපන් අනුපාතික යටතේ (නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය* +1.00%) පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල් වලින් නාමනය කරන ලද නව භාණ්ඩාගාර බැඳුම්කර පහක් (5) ලෙස පරිවර්තනය කර, 2023.08.15 දින පියවීම් සිදු කරන ලදී:

  • Sri Lanka Purchasing Managers’ Index (Manufacturing and Services) - July 2023

    2023 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.

    නිෂ්පාදන ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීමේ යම්  ප්‍රමාදයක් පිළිඹිබු කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 ජූලි මාසයේදී 44.6ක දර්ශක අගයක් වාර්තා  කරමින් අඛණ්ඩව පහත වැටුණි. මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පසුබැස්ම හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, 2023 ජූලි මාසයේ දී දර්ශකාංක 59.5ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, ජූලි මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් අඩු අගයක පැවතුනි.

  • The Central Bank of Sri Lanka reduces the Statutory Reserve Ratio

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 අගෝස්තු මස 08 වන දින පැවති රැස්වීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට තීරණය ක‍ළේය. මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

Pages