• Kanrich Finance Limited – Settlement of Public Liabilities

    'ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම' යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) 2022.12.26 සිට 2023.02.28 දක්වා කාලසීමාව තුලදී සම්පූර්ණයෙන්ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට එම ආයතනය වෙත නියෝග කිරීමට තීරණය කරන ලදී.

  • Provincial Gross Domestic Product (PGDP) - 2021

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් බහුතරයක කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත, 2021 වසරේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් (2015 පදනම් වර්ෂයට අනුව ) සියයට 42.6ක් නියෝජනය කරමින් ජාතික නිෂ්පාදිතයට ප්‍රමුඛ දායකත්වය සැපයූ අතර, පසුගිය වසරට සාපේක්ෂව එම දායකත්වයේ වර්ධනයක් ද දක්නට ලැබුණි. වයඹ (සියයට 11.1) සහ මධ්‍යම (සියයට 10.1) පළාත් පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ඉහලම දායකත්ව වාර්තා කර ඇත.

    නාමික දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලින් දක්වන ලද දායකත්වය 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ දී ඉහළයාමක් පෙන්නුම් කරන ලදී. මේ අතර, දකුණු, උතුරු සහ ඌව පළාත්වල දායකත්ව නොවෙනස්ව පැවතුණි. කෙසේ වෙතත්, මධ්‍යම, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල දායකත්වය 2021 දී සුළු වශයෙන් පහළ ගොස් ඇත.

  • Swarnamahal Financial Services PLC - Cancellation of the Licence

    “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය, 2022 දෙසැම්බර් 28 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තිය ප්‍රකාරව තීරණය කරන ලදී. ඒ අනුව “ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී” ආයතනයට 2022 දෙසැම්බර් 28  දින සිට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ, මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාමට අවසර නොමැත.

  • NCPI based headline inflation decreased for the second consecutive month in November 2022

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 70.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 65.0 දක්වා පහළ ගියේය. එසේම, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 80.9හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 69.8 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 61.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 60.4 දක්වා පහළ ගියේය. 

  • Sri Lanka Purchasing Managers’ Index - November 2022

    2022 නොවැම්බර් මාසයේදී, නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පසුබෑමක් පෙන්නුම් කරන ලදී.

    පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේ දී 42.1ක අගයක් වාර්තා ලදී. මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 49.0ක් දක්වා ඉහළ ගියද, කඩඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි. සේවා අංශයෙහි ක්‍රියාකාරකම්වල පහත වැටීමේ වේගය අඩු වීම සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ වර්ධනය හේතු විය. කෙසේ වෙතත්, සේවා නියුක්තියෙහි සහ නිමකිරීමට නියමිත කාර්යයන්හි  පහළ යෑමක් වාර්තා විය.

  • Public awareness in relation to defrauding individuals through scam calls, text messages, email messages and social media networks

    විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

  • Imposition/ Collection of Administrative Penalties by the Financial Intelligence Unit (FIU) to Enforce Compliance on Financial Institutions from 01 July 2022 to 16 November 2022

    2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

  • Revocation of the money changing permit issued to Prasanna Money Exchange (Pvt) Ltd

    විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම (Prasanna Money Exchange (Pvt) Ltd) වෙත ලබා දී ඇති බලපත්‍රයට අදාල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමින් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමෙහි අංක 42 A, මුදලිගේ මාවත, කොළඹ 01 සහ අංක 57, ගාලු පාර, කොළඹ 06 දරන ස්ථාන වල පැවති පිළිවෙලින් ප්‍රධාන කාර්යාලයය සහ ශාඛාව වෙත නිකුත් කර ඇති අංක DFE/RD/0058 දරන බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරන ලදී.

  • External Sector Performance – October 2022

    2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළ ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී අඛණ්ඩව අටවැනි මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. වෙළඳ ගිණුමේ හිඟය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යථා තත්ත්වයට පත් වී  සංචාරක ඉපැයීම් වර්ධනය වූ අතර, එමඟින් 2022 වසරේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර්  බිලියන 1ක් ඉක්මවා ගිය අතර විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද එ.ජ. ඩොලර්  බිලියන 3ක් පමණ විය. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී රජයේ සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි  සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය අවශ්‍යතා අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 363ක මට්ටමක පැවතුණි.

  • CCPI based headline inflation decreased for the second consecutive month in November 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 54.5 දක්වා පහළ ගියේය.

Pages