2023 මැයි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පහත වැටීමක් ද පෙන්නුම් කරන ලදී.
නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 මැයි මාසයේ දී 46.2ක අගයක් වාර්තා කළ අතර , මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.
සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පසුගිය මාසයේ දක්නට ලැබුණු සුළු පහත වැටීමෙන් අනතුරුව, 53.5ක දර්ශක අගයක් වාර්තා කරමින් 2023 මැයි මාසයේ දී නැවතත් වර්ධන කලාපයට ළඟා විය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන් මැයි මාසය තුළ දී අඛණ්ඩව පහළ ගියේය.