ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ සියයට 1.0 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 0.4 දක්වා පහළ ගියේය. 2018 දෙසැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු පහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -3.9 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට -4.5 දක්වා පහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.2 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.7 සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය.