• Meeting of Targets on Average Weighted Prime Lending Rate for end 2019 in line with the Monetary Law Act Order No. 2 of 2019

    “මෑතකාලීන ප්‍රතිපත්ති තීරණ, රුපියල් ණය සඳහා අදාළ වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත කාර්යක්ෂම ව සම්ප්‍රේෂණය වීම ඉහළ නැංවීම” යන 2019 අංක 02 දරන මුදල් නීති පනතේ නියෝගය අනුව සතිපතා ආර්ථික දර්ශක (Weekly Economic Indicators) ප්‍රකාශනයේ 2019 අප්‍රේල් මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික (AWPR) හා සැසඳීමේ දී 2019 දෙසැම්බර් මස 27 වන දින වන විට සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250කින් පහළ දැමිය යුතු වේ. මෙම නියෝගය නිකුත් කළ දින හෝ ඉන් අනතුරු ව සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය වාර්ෂික ව සියයට 9.50 දක්වා හෝ ඊට වඩා අඩු කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා මෙම නියෝගය අදාළ නො වේ.

  • Monetary Policy Review - No. 8 of 2019

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 දෙසැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව තබා ගනිමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගෙන යෑමට තීරණය කළේ ය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළඳපොළේ මෙන් ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබී ය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීන ව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

  • Prof. W D Lakshman Takes Office as the Governor of the Central Bank of Sri Lanka

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි. මේ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත. 

  • Inflation decreased in November 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර 2018 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 7.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගිය අතර ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

  • Response to the Revision of Sri Lanka’s Rating Outlook by Fitch Ratings

    ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ඉදිරි දැක්ම සංශෝධනය කරමින් 2019 දෙසැම්බර් මස 19 දින නිකුත් කළ ප්‍රකාශය සඳහා ප්‍රතිචාරයක් වශයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රකාශය පහත අන්තර්ජාල සබැඳිය මගින් ලබා ගත හැක.

  • Sri Lanka Purchasing Managers’ Index - November 2019

    2019 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 56.0ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියෙහි සිදු වූ වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

  • External Sector Performance - October 2019

    ආනයන වියදම අඩු වීම සහ අපනයන ආදායමේ සුළු අඩු වීම සමඟ 2019 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට  සාපේක්ෂ ව අඩු විය. සමුච්චිත ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම සමඟ අපනයන ආදායමේ සමුච්චිත වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීම 2019 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් සීමා විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත වශයෙන් අඩු වීමක් වාර්තා කළ ද 2019 ඔක්තෝබර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ව වර්ධනය විය. 2019 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක්  වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ඔක්තෝබර් මාසය තුළ දී විනිමය අනුපාතිකය මිශ්‍ර හැසිරීමක් වාර්තා කළ අතර වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අතිප්‍රමාණය වී පැවතුණි. 

  • Central Bank of Sri Lanka holds its 12th International Research Conference

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.

  • Public Awareness on Moneylending Activities

    මුදල් ණයට දීම සඳහා විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් සහ වෙනත් ආකාරයේ ප්‍රචාරණයන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධ ව සිදු වන යම් යම් අක්‍රමිකතා පිළිබඳ ව ද අප වෙත පැමිණිලි ලැබී ඇත. වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොළී අනුපාත අය කිරීම, ගනුදෙනුකරුවන්‍ට මුහුණ දීම‍ට සිදු වන හිරිහැර සහ එවැනි මුදල් ණයට දෙන පුද්ගලයින් විසින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර වේ. සුරැකුමක් සහිත ව හෝ රහිත ව මුදල් පොළියට දීම සිදු කරන හෝ ප්‍රචාරය කරන හෝ නිවේදනය කරන යම් පුද්ගලයෙකු මුදල් ණයට දෙන්නෙකු ලෙස විස්තර කළ හැක. 

  • Mobilization of Funds from the Public by Issuing Various Instruments

    විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමේ කාර්යයෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. මෙවැනි සමහර ක්‍රමවේදයන් ලෙස පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක් රැස් කිරීම සඳහන් කළ හැක. මෙවැනි මූල්‍ය උපකරණ වඩාත් ආකර්ශණීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද දැකිය හැකි ලක්ෂණයකි. තම ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙවැනි මාර්ගවලින් මුදල් එක් රැස් කිරීම සිදු වුව ද එම මූල්‍ය උපකරණ කෙතරම් දුරට තම ආයෝජන සඳහා යෝග්‍ය වන්නේ ද යන්න කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ව ඇත.

Pages