• The Central Bank of Sri Lanka issues a Coin to mark the 75th Independence Celebration of Sri Lanka

    2023.02.04 දිනට යෙදෙන 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1000 ක වටිනාකමින් යුත් සංසරණය සඳහා නොයෙදූ සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ. මෙම කාසිය පිළිබඳ විස්තර සහ පිරිවිතර පහත දැක්වේ.

  • External Sector Performance - December 2022

    2022 වසරේ අපනයන ආදායම, 2021 වසරේ වාර්තා වූ ඉහළම අගයට වඩා සියයට 4.9ක ඉහළ යෑමක් වාර්තා කරමින්, ප්‍රථම වරට එ.ජ. ඩොලර් බිලියන 13 ඉක්මවා ගියේය. මෙම වර්ධනය සඳහා ඇඟලුම්, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළු කාර්මික අපනයන ආදායම ඉහළ යෑම හේතු විය. මේ අතර, 2022 වසරේ සමස්ත ආනයන වියදම, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 11.4ක පහළ යෑමක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් මිලියන 18,291ක් වූ අතර, මේ සඳහා හදිසි නොවන ආනයන සීමා කීරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ 2022 වසරේ වැඩි කාලයක් වෙළඳපොළ තුළ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා ගැටළු හේතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 8,139 සිට, 2010 වසරේ සිට වාර්තා වූ අවම අගය ලෙස, එ.ජ. ඩොලර් මිලියන 5,185 දක්වා පහළ ගියේය. වෙළඳ ගිණුමේ සමස්ත හිඟයෙහි පහළ යෑම සඳහා බලපෑ ප්‍රධාන අයිතම රූප සටහන 1 මගින් දැක්වේ.

  • CCPI based headline inflation eased further in January 2023

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේ දී  අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.

  • The Central Bank of Sri Lanka Maintains Policy Interest Rates at their Current Levels

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 ජනවාරි මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා දැනට පවතින දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. එවැනි දැඩි මුදල් තත්ත්ව මෙන්ම දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමන අපේක්ෂා පහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් 2023 වසර අවසානය වන විට උද්ධමනය අපේක්ෂිත මට්ටම් කරා අඩු කිරීමටත් මැදි කාලීනව ආර්ථික සහ මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමටත් මහ බැංකුවට හැකියාව ලැබෙනු ඇත. 

  • NCPI based headline inflation decreased further in December 2022

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 65.0හි සිට 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 59.2 දක්වා තවදුරටත් පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.3 දක්වා තවදුරටත් පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 60.4හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 59.0 දක්වා පහළ ගියේය.

  • Sri Lanka Purchasing Managers’ Index - December 2022

    ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2022 දෙසැම්බර් මාසයේදී, සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර,  නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුගාමීබව තවදුරටත් දක්නට ලැබුණි.

    නිෂ්පාදන ක්‍රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 දෙසැම්බර් මාසයේ දී 44.8ක අගයක් වාර්තා කරණ ලදී. මෙම පසුබෑම කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ පහත වැටීම හේතු විය.

    සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව මාස දෙකක් පහත වැටීමෙන් පසුව 2022 දෙසැම්බර් මාසයේ දී 51.6ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය. මෙම ඉහළ යෑම සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ වර්ධනය හේතු විය. කෙසේ වෙතත්, සේවා නියුක්තිය සහ නිමකිරීමට නියමිත කාර්යයන් අඛණ්ඩව පහත වැටුණි.

  • External Sector Performance - November 2022

    වෙළඳ ගිණුමේ හිඟය, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද, වසරකට පෙර  පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පැවතිණි. ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන්, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. මේ අතර, වෙළඳ භාණ්ඩ ආනයන වියදම ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළද, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව නවවන මාසයටත් පහළ ගියේය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පවතින අතර, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මෙන්ම පෙර මාසයට වඩා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා විය. 2022 වසරේ නොවැම්බර් මාසයේ දී සංචාරක ඉපැයීම් පෙර මාසයට වඩා වැඩි වූ අතර සංචාරක පැමිණීම්වල සියයට 40කට වඩා වැඩි වර්ධනය එයට දායක විය. 2022 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා විය. යම් අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළට විදේශ විනිමය අඛණ්ඩව ලබා දුන් අතර, එම නිසා දළ නිල සංචිත ගොඩනැංවීම සීමා වී පවතී. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 363ක මට්ටමක පැවතුණි.

  • The Central Bank of Sri Lanka Introduces Measures to Reduce the Overdependence on the Standing Facilities

    2022 ප්‍රථම භාගය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවති දේශීය මුදල් වෙළඳපොළ  හිඟ ද්‍රවශීලතා තත්ත්වය, 2022 අවසාන භාගයේ දී අඩු විය. කෙසේ වෙතත්, මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්වයෙහි  වර්ධනයක් සිදු වුවද, දේශීය මුදල් වෙළඳපොළෙහි  ගනුදෙනු අඩු මට්ටමක පැවතීම හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩවම ඉහළ මට්ටමක පැවතිණ. මේ අතර, බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ව්‍යූහාත්මක ද්‍රවශීල අවශ්‍යතා ඉටුකර ගැනීමේදී වෙළඳපොළ පදනම් කරගත් විකල්ප අරමුදල් සම්පාදන අවස්ථාවන් පිළිබඳව සලකා බැලීමකින් තොරව මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු යටතේ වන එක්දින නිත්‍ය පහසුකම මත බොහෝ සෙයින් අඛණ්ඩවම රඳා පැවති බව දක්නට ලැබුණි. අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා පවතින අනෙකුත් සියලුම අවස්ථාවන් භාවිතා කිරීමෙන් අනතුරුව අවසාන අවස්ථාව ලෙස භාවිතයට ගැනීමට තිබෙන මහ බැංකුව විසින් ලබාදෙන එක්දින පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට බොහොමයක් බලපත්‍රලාභී වාණිජ බැංකු නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවක් පෙන්නුම් කර නැත.

  • Extension of the Suspension of Business of Perpetual Treasuries Limited

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2023 ජනවාරි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

  • Monetary and Financial Sector Policies for 2023 and Beyond

    නිදහසින් පසු උද්ගත වූ වඩාත්ම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් කෙරෙහි ශ්‍රී ලංකාව 2022 වසරේදී මුහුණ දුන්නේය. 2019 වසරේදී පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාර, 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ එමගින් 2021 වසරේදී ද ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සිදු වූ බලපෑම, අහිතකර ගෙවුම් ශේෂ පීඩන මධ්‍යයේ 2022 වසරේදී සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය මෙන්ම පෙර නොවූ පරිදි ප්‍රතිපත්ති වෙනස්කිරීම් මගින් වූ බලපෑම ඇතුළු මෑත වසරවලදී පැවති අඛණ්ඩ ආර්ථික අභියෝග මගින් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අපේක්ෂා නොකළ අන්දමේ දුෂ්කරතා ඇති කරමින් ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් සිදු කරන ලදී. පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වූ අතර මූර්ත ආදායම බොහෝසෙයින් පහළ ගියේය. මෙම ආර්ථික අභියෝග මෙන්ම කාලානුරූපී නොවන ප්‍රතිපත්තිමය තීරණ මගින් දශක ගණනාවක් මුළුල්ලේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර තුළ පැවති ව්‍යුහාත්මක ගැටලු තවදුරටත් උග්‍ර කළ අතර, එමගින් සාර්ව ආර්ථික සමතුලිතතාවය බිඳ වැටීම හේතුවෙන් රටෙහි විවිධ අංශවල පසුබෑමක් ශීඝ්‍රයෙන් ඇති විය.

Pages