රාජ්‍ය ණය කළමනාකරණය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඩ්-19 වසංගතය හමුවේ සිදුවූ විවිධ බාධක මධ්‍යයේ වුවද අඛණ්ඩව නිසිපරිදි ණය සේවාකරණ ගෙවීම් ඉටුකිරීමේ වාර්තාව බිඳනොහෙළමින් පවත්වාගෙන යමින් සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් දේශීය මුදල් වෙළඳපොළින් ණය සේවාකරණ අවශ්‍යතා සපුරාලීම හා රජයේ අත්‍යවශ්‍ය වියදම් පියවීම වෙනුවෙන් විශාල අරමුදල් ප්‍රමාණයක් රැස් කිරීම සිදුකරන ලදී.

ඉහළ ගිය රාජ්‍ය වියදම් හා රාජ්‍ය ආදායමේ වූ හිඟය මූල්‍යකරණය සඳහාද ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදල් සම්පාදනය සිදුකරන ලදී. මෙම අරමුදල් මඟින් ජනගහණයෙන් විශාල පිරිසකට සමාජ ආරක්ෂණ ගෙවීම් සිදුකිරීමටද, අත්‍යවශ්‍ය සෞඛ්‍යය හා අනෙකුත් මහජන සේවා සැපයීමටද, ණය සේවාකරණ ගෙවීම් සිදුකිරීමටද රජයට හැකිිවිය.

 

සිදුවීම්

2020 මැයි 13 පොත් අගයට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර රුපියල් බිලියන 100 මගින් රාජ්‍ය බැංකු තුළින් රජය විසින් ලබා ගත් බැංකු අයිරාවේ ශේෂය අඩු කරලීම ඇතුළු අනෙකුත් රජයේ මුදල් ප්‍රවාහ කළමනාකරණ උපකරණවල ගැලපීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව දායකත්වය දක්වන ලදී.
2020 මැයි 04 බැංකු නොවන ප්‍රාථමික වෙළෙදුන් හට ඔවුන්ගේ කෙටිකාලීන ද්‍රවශීලතා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් කෙටිකාලීන ද්‍රවශීලතා ආධාරක පහසුකම් වැඩසටහනක් ආරම්භ කරන ලදී.
2020 අප්‍රේල් 03 රජය විසින් ගෙවිය යුතු වියදම් පියවීමට පහසුකම් සැලසීම සඳහා රු. බිලියන 60ක භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් මිලදී ගන්නා ලදී.
2020 මාර්තු 30 දෛනික පහසුකමට අමතරව බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන්ට දිගුකාලීනව අවශ්‍ය අරමුදල් සැපයීම ආරම්භ කරන ලදී.
2020 මාර්තු 23 ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යෑම පහසු කරලීම සඳහා අවශ්‍ය විශේෂ අරමුදලක් පිහිටුවීමේ අරමුණින් රුපියල් බිලියන 50ක මුදලක් රජයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සිදු කරන ලදී.
2020 මාර්තු 13 විශේෂිත තත්ත්වයක් ලෙස සලකා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් ලබාදීමට රුපියල් බිලියන 50ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළෙන් මිලදී ගැනීම සිදු කරන ලදී.

මීට අමතරව, නොයෙකුත් මූල්‍යකරණ ක්‍රියාමාර්ග සහ ණය කළමනාකරණ විධිවිධාන ද හඳුන්වා දෙන ලදී.

• භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම අඛණ්ඩව සිදුකළ අතර, එමගින් 2020 වසරේ පළමු මාස හත ඇතුළත රුපියල් ට්‍රිලියන 1.3 ඉක්මවූ අරමුදල් රැස් කර රජයට ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබුණි. 2020 වසරේ මාර්තු මස මැද භාගයේ සිට 2020 වසරේ ජූලි මස අවසානය වන විට, වෙන්දේසි මගින් රු. බිලියන 900 ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් රැස් කිරීම සිදු කරන ලදී. තවද, රජයේ අරමුදල් අවශ්‍යතාව නිසි ලෙස සපුරාලීම සඳහා පැවති ක්‍රමවේදය වූ එක් මාසයක් තුළ භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසි එක(1) බැගින් පැවැත්වීම වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි දෙක (2) බැගින් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නා ලදී.

• භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු පිළිගැනීම සඳහා වූ උපරිම ඵලදා අනුපාතිකය නිවේදනය කිරීම තුළින්, 2020 මාර්තු සිට අගෝස්තු මස 05 වැනි දින දක්වා වන කාල සීමාවට අදාළව ඇති වූ රු. බිලියන 110 ක් වූ අරමුදල් හිඟය මූල්‍යකරණයට පහසුකම් සලසන ලදී.

• 2020 ජූනි මස තුළදී තාවකාලික අත්තිකාරම් පියවීම සඳහා රු. බිලියන 239.9ක මුහුණත වටිනාකමක් සහිත භාණ්ඩාගාර බිල්පත් සඳහා නිකුත් කිරීම සිදු කරන ලදි.

• කොවිඩ්-19 වසංගතය හේතුකොටගෙන සිදුවූ විවිධ බාධක මධ්‍යයේ වුවද අඛණ්ඩව ණය සේවාකරණ ගෙවීම් නිසිලෙස ඉටුකිරීමේ වාර්තාව බිඳ නොහෙළමින් 2020 වසරේ පළමු මාස හත තුළදී රු. ට්‍රිලියන 2 ඉක්මවූ ණය සේවාකරණ ගෙවීම් සිදු කරන ලදී. 2020 වසරේ මාර්තු මස මැද භාගයේ සිට 2020 වසරේ ජූලි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සේවාකරණය කරන ලද ණය සංඛ්‍යාව 816කි.

• රජයේ ණය ආපසු ගෙවීම් සාමාන්‍යයෙන් පියවනු ලබන්නේ විදේශ සංචිත භාවිතා කරමිනි. පෙර නොපැවති ආකාරයට වෙළඳපොලෙහි ඇතිවූ අහිතකර තත්ත්වයන් නිසා, රජයට අවශ්‍ය පරිදි අරමුදල් රැස්කිරීමට නොහැකි වීම හේතුවෙන්, 2020 අප්‍රේල් 08 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන ස්වාරක්ෂිත සංචිත වලින් රාජ්‍ය ණය නියමිත වෙලාවට පියවීම සඳහා නොකඩවා අරමුදල් සම්පාදනය කරන ලදී. ඒ අනුව, 2020 අප්‍රේල් 08 සිට 2020 ජුනි 22 දක්වා කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත උපයෝගී කරගනිමින් රජයේ ණය ඇමරිකානු ඩොලර් මිලියන 1,007 ක් මහ බැංකුව විසින් පියවා ඇත.

• ශ්‍රී ලංකා මහ බැංකුවේ ලංකාසෙක්‍යු පද්ධතිය මගින් රාජ්‍ය සුරැකුම්පත්හි ආයෝජන සම්බන්ධයෙන් විද්‍යුත් ප්‍රකාශන ද ඇතුළුව (එම පහසුකම තෝරා ගත් ගණුදෙනුකරුවන් සඳහා) මුද්‍රිත ප්‍රකාශන 34,159ක් 2020 පළමු මාස හත තුළදී නිකුත් කරන ලදී. තවද, කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැවති මාස 3ක කාලය තුළදී (2020.03.16 – 2020.06.17) ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශන 11,403ක් නිකුත් කරන ලදී.

• 2020 වසරේ පළමු මාස හත තුළ විද්‍යුත් තැපෑල හරහා තත්කාලීන දැනුම්දීම් 76,969ක්ද, කෙටි පණිවිඩ සේවාව හරහා තත්කාලීන දැනුම්දීම් 22,871ක්ද ලංකාසෙක්‍යු පද්ධතිය මගින් සිදුකරන ලදී. මෙවැනි ගණුදෙනුකරුවන්ට නිකුත් කරන තත්කාලීන දැනුම්දීම්, කොවිඩ්-19 හේතුවෙන් සංචරණ සීමා පැවති කාලසීමාව තුළ (2020.03.16 – 2020.06.17) විද්‍යුත් තැපෑල මගින් 26,162ක්ද කෙටි පණිවිඩ මගින් 7,282ක්ද නිකුත් කරන ලදී. දිවයින පුරා ඇඳිරිනීතිය පැවති 2020 මාර්තු මස 20 වැනි දින සිට 2020 මැයි මස 26 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළ පැවති වැඩකරන දින 38න් 35ක්ම ලංකාසෙක්‍යු පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී.